April, 29, 2025
දෙරට අතර විදුලි යන්ත්‍රෝපකරණ සහ උපකරණ නිෂ්පාදනය ඇතුළු යාන්ත්‍රික උපකරණ සහ යාන්ත්‍රික උපකරණ අංශයේ ද්විපාර්ශ්වික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා එවකට කර්මාන්ත විෂයභාර අමාත්‍යාංශය සහ වියට්නාම සමාජවාදී ජනරජයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට 2011 වර්ෂයේදී අත්සන් තබා ඇත.
2019 වර්ෂයේදී දෙරට අතර පැවති වෙළඳාම පිළිබඳ අනුකමිටුවේ දෙවන රැස්වීමේදී එකී අවබෝධතා ගිවිසුම අලුත් කිරීමට දෙපාර්ශ්වයම එකඟතාවකට පැමිණ තිබේ.
ඒ අනුව, දියුණු තාක්ෂණයන් හුවමාරු කිරීමට පහසුකම් සැලසීමෙන් සහ දේශීය පාර්ශ්වකරුවන් සඳහා පුහුණුව සහ ධාරිතා ගොඩනැංවීමේ කටයුතු සඳහා ප්‍රවේශය ලබා දෙමින් සංශෝධන ඇතුළත් කොට යාවත්කාලීන කරන ලද යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මේ අතර ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර වෙළෙඳ සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා වියට්නාම වෙළෙඳ ප්‍රවර්ධන ආයතනය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා වී ඇත.
දෙපාර්ශ්වයට අදාළ වෙළෙඳාම පිළිබඳ තොරතුරු සහ වෙළෙඳපොළ බුද්ධිය හුවමාරු කර ගැනීම, දෙරටේම පැවැත්වෙන වෙළෙඳ ප්‍රදර්ශන, ප්‍රදර්ශන සහ ප්‍රවර්ධන අවස්ථා සඳහා ඒකාබද්ධ සහභාගිත්වය සහ ව්‍යාපාරික නියෝජිත කණ්ඩායම් අතර රැස්වීම් සංවිධානය කිරීම ඇතුළු පුළුල් පරාසයක වෙළෙඳ ප්‍රවර්ධන ක්‍රියාකාරකම් සඳහා මෙම අවබෝධතා ගිවිසුම යටතේ අවකාශ සැලසේ.
මෙම සහයෝගිතාව මඟින් විශේෂයෙන් සැකසූ ආහාර, ධීවර කටයුතු, ඇඟලුම් සහ අගය එකතු කළ කෘෂිකර්මාන්තයට සැලකිය යුතු වෙළෙඳපොළ අවස්ථාවන් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කෙටුම්පත් අවබෝධතා ගිවිසුම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ එකඟතාව ලැබී ඇත.
ඒ අනුව, අදාළ අවබෝධතා ගිවිසුම වියට්නාම වෙළෙඳ ප්‍රවර්ධන ආයතනය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අතර අත්සන් තැබීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
තව ද කෘෂිකාර්මික සහයෝගිතාව අරමුණු කර ගනිමින් 2006 වර්ෂයේදී ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත.
ඒ අනුව, දෙපාර්ශ්වයේ එකඟතාව මත 2010-2011, 2017-2019, 2022-2024 හා 2024-2026 වර්ෂයන් සඳහා ක්‍රියාකාරි සැලසුම් අත්සන් කර ක්‍රියාත්මක කර තිබේ.
2024-2026 ක්‍රියාකාරි සැලස්මේ එක් අංගයක් ලෙස දෙරටේ ආයතන අතර සහයෝගිතාව වර්ධනය කර ගැනීම සඳහා කටයුතු කිරීමේ හැකියාව පවතී.
ඒ අනුව, මෙරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා වියට්නාමයේ කෘෂිකර්ම විද්‍යා ඇකඩමිය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී තිබේ.
යෝජිත කෙටුම්පත් අවබෝධතා ගිවිසුම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයේ එකඟතාව ලැබී තිබේ.
ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story