විරැකියාව පහළට

    August, 20, 2025

    මෙරට විරැකියා අනුපාතිකයෙහි වාර්තාගත පහළ යාමක් දක්නට ලැබෙන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

    2024 වසරේ පළමු කාර්තුවේ දී 4.5% ක් ලෙසින් වාර්තා වී තිබුණු මෙරට විරැකියා අනුපාතිකය 2025 පළමු කාර්තුවේ දී 3.8% ක් දක්වා පහළ ගොස් ඇති බව, 2025 පළමු කාර්තුවේ ශ්‍රම බලකා සමීක්ෂණ වාර්තාවක් නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 2024 අවසාන කාර්තුවේ දී 4.2% ක් ලෙසින් දැක්වුණු මෙරට විරැකියා අනුපාතිකය 2024 තෙවන කාර්තුවේ දී 4.1%ක් ලෙසින් වාර්තා වී ඇත.

    මෙහිදී 2025 පළමු කාර්තුවේ දී මෙරට පුරුෂ ශ්‍රම විරැකියා අනුපාතිකය 4.5% සිට 3.8% ක් දක්වාත්, ස්ත්‍රී විරැකියා අනුපාතිකය 7.4% සිට 6.3% ක් දක්වා ත් පහළ ගොස් තිබේ.

    මේ අතර 2024 පළමු කාර්තුවේ දී 47.1%ක්ව පැවති මෙරට ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතිකය 2025 පළමු කාර්තුව තුළ දී 49.7% ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2024 සිව්වන කාර්තුවේ දී මෙම අගය 47.7% ක් ලෙසින් සටහන්ව තිබූ අතර 2024 තෙවන කාර්තුවේ දී එය 46.6% ක් ලෙසින් වාර්තා වී තිබුණි.