විශ්‍රාමික තොරතුරු පරීක්ෂා කර ගැනීමට සෑම විශ්‍රාමිකයෙකුටම වෙන් වූ තමන්ගේම වෙබ් පිටුවක්

    February, 10, 2026

    • දෙපාර්තමේන්තු ක්‍රියාවලිය නව්‍යකරණය වී ඇති ආකාරය පිළිබඳව විශ්‍රාමිකයන් දැනුම්වත් කිරීමේ වැඩසටහන

    රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගනු ලබන විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් හා ඔවුන්ගේ උරුමකරුවන්ගේ ප්‍රතිලාභ ගෙවීම් සිදු කරනු ලබන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ මෑතකාලීනව සිදු කළ නව්‍යකරණයන් පිළිබඳ විශ්‍රාමික ප්‍රජාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ඉකුත් දා දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණි.

    දිවයින පුරා ක්‍රියාත්මක දෙපාර්තමේන්තුව සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වන විශ්‍රාමික සංගම් 20ක නියෝජිතයින් පිරිසක් සම්බන්ධ වන සේ මෙම වැඩසටහන පවත්වනු ලැබීය.

    එහිදී මධ්‍යගත, විමධ්‍යගත, වැන්දඹු හා අනත්දරු, සන්නද්ධ සේවා, විශමතා, අභ්‍යන්තර විගණන, ප්‍රතිපත්ති, ගිණුම්, දායක මුදල්, විදේශ විශ්‍රාම හා රාජ්‍ය සේවා අර්ථසාධක ඇතුළු ගෙවීම් ක්‍රියාවලියට අදාළව දෙපාර්තමේන්තුවේ සෑම අංශයකම මාණ්ඩලික නිලධාරීන්ගේ විෂය පැහැදිලි කිරීම් සඳහා සවන් දීමට විශ්‍රාමිකයන් වෙත අවස්ථාව ලැබිණි.

    විශ්‍රාම වැටුප් ගෙවීම් ක්‍රියාවලිය සම්පූර්ණයෙන් මෙහෙයවනු ලබන විශ්‍රාම වැටුප් කළමනාකරණ දත්ත පද්ධතිය, විශ්‍රාමික මහත්ම මහත්මීන් වෙත ලබා දෙන සේවාවන් තවදුරටත් සුහුරු කිරීමේ අරමුණ ඇතිව නිරන්තරයෙන් නව්‍යකරණය කරනු ලබන අතර ඒ ඔස්සේ ලබා දෙන නවතවම සේවා පහසුකම් පිළිබඳවද මෙහි දී විශ්‍රාමික මහත් මහත්මීන් දැනුම්වත් කරනු ලැබීය.

    විශේෂයෙන් මේ වන විට සිය අතෙහි ඇති ජංගම දුරකථනය ඔස්සේ විශ්‍රාමිකයින්ට ළඟා විය හැකි සේවාවන් රාශියක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මඟින් වැඩි දියුණු කර තිබේ. ඒ අනුව www.pensions.gov.lk ඔස්සේ දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට පිවිස විශ්‍රාමික මහත්ම මහත්මීන් වෙත ප්‍රවේශ විය හැකි සේවාවන් රැසක් පවතී.

    දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියෙහි සෑම විශ්‍රාමිකයකු සඳහාම වෙන් වුණු පිටුවක් (Profile) පවතින අතර එම පිටුවට ප්‍රවේශ වීමෙන් විශ්‍රාමික අයදුම්පත්‍රයෙහි වර්තමාන තත්වය, ඔවුන්ගේ වැන්දඹු හා අනත්දරු සාමාජික අංක හා තොරතුරු, ජීවිත සහතික යාවත්කාලීන කිරීම, ඇඟිලි සලකුණ මඟින් ජීවිත සහතික යාවත්කාලීන කළ හැකි ස්ථාන, විශ්‍රාම වැටුප් සංශෝධන, මාස තුනක් ඇතුළත් විශ්‍රාම වැටුප් විස්තර දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් හෝ දුරකථන ඇමතුම් ලබා ගැනීමකින් තොරව තමන්ටම පරීක්ෂා කර ගැනීමේ හැකියාව මෙමඟින් හිමි වේ.

    මෙම දැනුම්වත් කිරීමේ වැඩමුළුවට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරල් චාමින්ද හෙට්ටිආරච්චි මහතා, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සුජානි පෙත්තාවඩු මහත්මිය ඇතුළු සියලු අංශභාර මාණ්ඩලික නිලධාරීන් ඇතුළු විශ්‍රාමික මහත්ම මහත්මීන් සහභාගී වූහ.