December, 26, 2024
2024 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව මිලියන 2ක සීමාව ඉක්ම වීමට සමත් වූ බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අද (26) පෙරවරුවේ බැංකොක් සිට ශ්‍රී ලංකන් ගුවන් යානයකින් මෙරටට පැමිණි විසිලක්ෂයේ තායිලන්ත සංචාරක යුවලෙහි පැමිණීමත් සමගයි.
මෙම විසිලක්ෂයේ සංචාරකයා පිළිගැනීම වෙනුවෙන් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතාගේ සහ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මඟින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ Silk Route Loungeහි උත්සවයක්ද සංවිධානය කර තිබුණි.
මෙය වාර්ෂික සංචාරක පැමිණීම ලක්ෂ 20 ඉක්මවන සිව්වන අවස්ථාව වන අතර මීට පෙර ලක්ෂ 20 ඉක්මවා තිබුණේ 2016, 2017, 2018 වසරවල දී පමණි.
2018 වසරින් පසුව වසරක් තුළ වැඩිම සංචාරක පැමිණීම වාර්තා වන්නේ ද මෙම වසරේ දී වීම විශේෂත්වයකි.
දෙසැම්බර් මාසයේ පළමු දින 26 තුළ මේ දක්වා සංචාරකයන් 195,127ක් පැමිණ ඇති අතර දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රිය වන විට සංචාරකයන් 250,000 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මීට පෙර එක් මසක් තුළ සංචාරකයන් 250,000 ඉක්මවා තිබුණේ 2018 දෙසැම්බර් (253,169) සහ 2019 පෙබරවාරි (252,033) මාසවල දී පමණක් වීම විශේෂත්වයකි.
Video Story