June, 17, 2020
ශ‍්‍රී ලංකාවේ විශාලතම ගෙවීම් කාඞ්පත් නිකුත් කරන්නා වන කොමර්ෂල් බැංකුව විසින් ඩිජිටල් ගෙවීම් විසඳුම් බලාපොරොත්තු වන ඕනෑම වෙළෙඳ ආයතනයකට හෝ පුද්ගලයෙකුට වඩාත් පුළුල් ගෙවීම් සේවාවක් ලබාදෙන CyberSource නැමති ගෝලීය ගෙවීම් කළමනාකරණ පද්ධතිය මෙරටට හඳුන්වාදීම සඳහා ගෝලීය ගෙවීම් තාක්ෂණ ක්ෂේත‍්‍රයේ නායකයෙකු වන වීසා සමාගම සමග නව ඒකාබද්ධතාවයක් ඇතිකර ගෙන තිබේ.
මේ අනුව, ගෙවීම් පිළිගැනීමේදී වෙළෙඳුන්ට එකම ස්ථානයකදී තාක්ෂණික විසඳුම් මාලාවක් ලබාදීමට CyberSource පද්ධතිය තුලින් වීසා වෙත හැකියාව ලැබේ. මෙම පහසුකම මගින් සියළු ප‍්‍රමාණයේ වෙළෙඳුන්ට සිය ගනුදෙනුකරුවන් සමග සම්බන්ධ වීම දියුණු කරගැනීම, වංචාවන් සහ ආරක්ෂාව සම්බන්ධයෙන් වන අවධානම අවම කර ගැනීම, මෙහෙයුම් පිරිවැය අඩුකර ගැනීම සහ වෙනස් වන ව්‍යාපාරික පරිසරයට අනුගතවීම යන කරුණු ඉටුකර ගැනීමට අවස්ථාව හිමිවේ. මෙම විසඳුම මගින් ගෙවීම් කාඞ්පත් කර්මාන්ත දත්ත ආරක්ෂණ ප‍්‍රමිති (PCI-DSS) සහතිකකරණය වැනි ගෙවීම් ආරක්ෂණ අංගයන් ආවරණය කර තිබෙන අතර මෙමගින් සංවේදී ගෙවීම් දත්ත සඳහා ආරක්ෂාව ලබාදෙමින් ඊ-වාණිජ්‍යය වංචා වලට වැට බඳිනු ලබයි.
කොමර්ෂල් බැංකුව විසින් CyberSource පද්ධතිය හඳුන්වා දීමත් සමගම මෙම විසඳුම භාවිතා කරන වෙළෙඳුන්ට ඊ-වාණිජ්‍යය පද්ධති ඔස්සේ තම ගනුදෙනුකරුවන්ගෙන් ගෙවීම් ලබාගැනීමේ අවස්ථාව උදාවේ. මෙහිදි, බැංකුව සමග ගනුදෙනුකරන වෙළෙඳුන් CyberSource පද්ධතිය සමග සම්බන්ධ කරන අතර ඔවුන්ට මේ තුලින් වීසා සහ මාස්ටර්කාඞ් ගෙවීම් පහසුකම් ලබාගැනීමේ අවස්ථාව හිමිවේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් වීසා සමාගමේ ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා කළමනාකරු ඇන්තනී වොට්සන් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘ශ‍්‍රී ලංකාව ඩිජිටල් යුගයක් වෙත පරිවර්තනය වෙමින් තිබෙන මේ අවස්ථාවේදී ලාංකිකයින් අතර ජංගම දුරකතන සහ අන්තර්ජාල සබඳතාවය පුළුල් වෙමින් තිබීම හමුවේ ඊ-වාණිජ්‍යය කටයුතු වේගයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. මේ නිසා, CyberSource සමග කොමර්ෂල් බැංකුවට ආරක්ෂිත ගෙවීම් ද්වාර සේවාවක් ලබාදීමට හැකිවීම පිළිබඳව අපි අතිශය සතුටු වෙනවා. මේ තුළින් කර්මාන්ත ප‍්‍රමුඛ කරගත් ගෙවීම් සේවාවන් වර්ධනය වීම තුළින් ශ‍්‍රී ලංකාව වඩ වඩාත් ශක්තිමත් වෙනවා.’
වීසා සමාගමේ වෙළෙඳ අත්පත් කරගැනීම් සහ ඉන්දියාවේ සහ දකුණු ආසියාවේ CyberSource ප‍්‍රධානී, ෂයිලේස් පෝල් මහතා මේ පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. ‘සිය ගනුදෙනුකරුවන්ට ඉතාමත් ආරක්ෂිත ඩිජිටල් වාණිජ්‍යය අත්දැකීමක් ලබාදෙන ශක්තිමත් ගෙවීම් විසඳුමක් ලෙස CyberSource ජාත්‍යන්තරව කීර්තියට පත්ව තිබෙනවා. මෙම වටිනා සේවාව ශ‍්‍රී ලංකාවට හඳුන්වාදීමට කොමර්ෂල් බැංකුව සමග අත්වැල් බැඳගැනීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා. මේ තුළින් ශ‍්‍රී ලංකාවේ ඊ-වාණිජ්‍යය වෙළෙඳුන්ගේ ව්‍යාපාර වර්ධනයට විශාල සහයෝගයක් ලබාදිය හැකියි.’
මෙම සංධිස්ථානාත්මක හඳුන්වාදීම පිළිබඳව කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, සනත් මනතුංග මහතා අදහස් දැක්වූයේ මෙසේයි. ‘ඊ-වාණිජ්‍යය ක්ෂේත‍්‍රයේ සාර්ථකත්වය රඳා පවතින්නේ වෙළෙඳුන්ගේ සහ ගනුදෙනුකරුවන්ගේ සමස්ත අත්දැකීම අනුවයි. මේ සඳහා වඩාත් වැදගත් වන්නේ ආරක්ෂාව සහ පහසුවෙන් ගනුදෙනු කිරීමට තිබෙන හැකියාවයි. CyberSource මගින් මෙම ප‍්‍රධාන අරමුණු ඉටුකර තිබෙනවා.’
මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා මෙසේ පැවසීය. ‘කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් සීමාවන් පනවා තිබෙන මෙවැනි අවස්ථාවක මෙම හඳුන්වාදීම ඊ-වාණිජ්‍යය විසඳුම් ක්ෂේත‍්‍රයට ඉතාමත් කාලෝචිත එකක් ලෙස සඳහන් කළ හැකියි. මෙම සීමාවන් ඉවත් කළද ඉදිරියේදී ඉතාමත් ඉහළ ගනුදෙනු ප‍්‍රමාණයක් ඊ-වාණිජ්‍යය කටයුතු මගින් සිදුකරනු ඇතැයි අප විශ්වාස කරනවා. එයට හේතුව වන්නේ මේ තුළින් පහසුවෙන් ගනුදෙනු කිරීමට තිබෙන හැකියා විශාල ජන කොටසක් තේරුම් ගැනීමයි.’
ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම නව වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 865 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.
බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.
Video Story