වෙල්ත්ට්‍රස්ට් සිකියුරිටීස් රු. මිලියන 500ක මූලික මහජන කොටස් නිකුතුවක් නිවේදනය කරයි

    December, 5, 2025

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවෙකු වන වෙල්ත්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගම (WealthTrust Securities Limited - WTS), පසුගියදා පැවැත්වූ සිය මාධ්‍ය හමුව සහ ආයෝජක සමුළුව සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව, සිය මූලික මහජන කොටස් නිකුත් කිරීමේ (IPO) ක්‍රියාවලිය නිල වශයෙන් ආරම්භ කරන බව නිවේදනය කර ඇත.

    මාධ්‍යවේදීන්, ආයෝජන විශ්ලේෂකයින් සහ වෙළෙඳපොළ කටයුතුවලට සහභාගීවන්නන්ගේ දැඩි උනන්දුව දිනා ගත් මෙම වැඩසටහනේදී, වෙල්ත්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගමේ ඉදිරි මූලික මහජන කොටස් නිකුතුව පිළිබඳව සහ ප්‍රාග්ධනය රැස් කිරීමට පාදක වූ උපායමාර්ගික හේතු පිළිබඳව ගැඹුරු දළ විශ්ලේෂණයක් ඉදිරිපත් කරන ලදී.

    වෙල්ත්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගම එක් කොටසක් රුපියල් 7.00 බැගින් වූ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 71,548,244ක් නිකුත් කරන අතර, කොටස් සඳහා ඉල්ලීම් මගින් රුපියල් 500,837,708ක මුදලක් රැස් කිරීමට අපේක්ෂා කරයි. මෙම ආයෝජක සමුළුව අතරතුරදී, සමාගම් කළමනාකාරීත්වය විසින් මෙම මූලික මහජන කොටස් නිකුතුව මගින් වන වෙල්ත්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගමෙහි ස්ථීර ප්‍රාග්ධන තත්ත්වය ශක්තිමත් කිරීමටත්, පොලී අනුපාතිකයේ අනපේක්ෂිත අස්ථාවරත්වයන් හමුවේ ප්‍රතිරෝධය ඉහළ නැංවීමටත්, ප්‍රාථමික වෙළෙඳ මෙහෙයුම්වලට අදාළ වෙළෙඳපොළ අවදානම් කළමනාකරණය කිරීමේ හැකියාව වැඩිදියුණු කිරීමටත් අපේක්ෂා කරන ආකාරය පැහැදිලි කරන ලදී.

    මෙම ප්‍රාග්ධන මුදල් ආයෝජනය, හිතකර අවස්ථා මතුවන විට රජයේ සුරැකුම්පත් වෙළඳ කළඹ පුළුල් කිරීම සඳහා සාමාන්‍ය ව්‍යාපාර කටයුතු තුළදී ප්‍රධාන වශයෙන් යොදවන බව සමාගම නැවත අවධාරණය කළේය. තවද, 2026 සහ 2027 වසර සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවා ඇති අවම මූලික ප්‍රාග්ධන අවශ්‍යතා දැනටමත් වෙල්ත්ට්‍රස්ට් සිකියුරිටීස් සපුරා ඇති බව ද සමාගම තහවුරු කළේය.

    මෙම සමුළුවේදී බොහෝ දෙනාගේ අවධානය යොමු වූයේ, සමාගමේ ශක්තිමත් ස්ථාවරත්වය සහ වගකීම් සහගත කළමනාකරණය පෙන්නුම් කරන, ලංකා රේටින් ආයතනය (Lanka Rating Agency) විසින් වෙල්ත්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගම සඳහා ලබා දී ඇති A- (ධනාත්මක දැක්ම සහිත) ණය ශ්‍රේණිගත කිරීම වෙතයි. වෙළෙඳපොළේ අස්ථාවර කාලපරිච්ඡේදයන් තුළ පවා අලාභ අවම කර ගනිමින්, වෙල්ත්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගමෙහි උපායශීලි වෙළඳ ප්‍රවේශය මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලදී. වසර 100කට අධික අත්දැකීම් ඇති එහි පරිණත ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව කණ්ඩායම, සමාගමේ ඉහළ කාර්ය සාධනය මෙහෙයවන මූලික ශක්තිය ලෙස ද ප්‍රදර්ශනය විය.

    මෙම මූලික මහජන කොටස් නිකුතුව 2025 දෙසැම්බර් 17 වන දින විවෘත කිරීමට නියමිත අතර, එය ආයෝජකයින්ට සමාගමේ දියුණුවේ මීළඟ අදියරට සහභාගී වීම සඳහා අවස්ථාව ලබා දෙයි. මූලික මහජන කොටස් නිකුතුව සාර්ථකව නිම කිරීමෙන් පසු, ලැයිස්තුගත කිරීමේ අවශ්‍යතාවයන්ට අනුකූලව කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) දිරිසවි පුවරුවෙහි ලැයිස්තුගත වීමට වෙල්ත්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගම සැලසුම් කරයි.

    කැමැත්තක් දක්වන ආයෝජකයින්ට සමාගමේ වෙබ් අඩවිය වන www.wealthtrust.lk හෝ කොළඹ කොටස් වෙළෙඳපොළේ වෙබ් අඩවිය වන www.cse.lk වෙත පිවිසීමෙන් සංස්ථා ප්‍රකාශය (Prospectus) සහ අයදුම්පත් ලබා ගත හැකිය.