වෙළෙඳාම සහ ආයෝජන ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජනපද තානාපති කාර්යාල නිලධාරීන් අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ සාකච්ඡාවක්

    February, 5, 2026

    ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ නිලධාරී ඩැනියෙල් ජැක්සන් මහතා සහ වාණිජ හා ආර්ථික සහකාර තිලෝමා අබේනායක මහත්මියගේ සහභාගිත්වයෙන් අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහ මහතා සමග සාකච්ඡාවක් පැවැත්විණ. එම හමුවට වැඩ බලන අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන) කුමුදිනී මුදලිගේ මහත්මිය,කෘෂි අපනයන අංශයේ අධ්‍යක්ෂ ජනක් බදුගම මහතා, වෙළඳ පහසුකම් සහ වෙළඳ තොරතුරු අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය එස්.යූ. රත්නසේකර මහතා ඇතුළු අනෙකුත් EDB ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වූ අතර, දෙරට අතර වෙළඳ සබඳතා ව්‍යාප්ත කිරීම හා ආයෝජන අවස්ථා පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.

    මෙම සාකච්ඡාවේදී දෙපාර්ශ්වයම තම ආයෝජන අවස්ථා ගවේෂණය කළ අතර ජැක්සන් මහතා ශ්‍රී ලංකා අපනයනකරුවන්ට වොෂින්ටනයේ පැවැත්වීමට නියමිත SelectUSA 2026 ආයෝජන සමුළුවට සහභාගී වන ලෙස ආරාධනා කළේය. මෙය ජාත්‍යන්තර ආයෝජකයින් එක්සත් ජනපද ආර්ථික සංවර්ධන සංවිධාන සමඟ සම්බන්ධ කිරීම සඳහා වන ප්‍රමුඛ වේදිකාවකි.

    අපනයන සංවර්ධන මණ්ඩල සභාපති මංගල විජේසිංහ මහතා එක්සත් ජනපද ගැනුම්කරුවන්, ආයෝජකයින් සහ මාධ්‍ය නියෝජිතයින්ට ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 සඳහා සහභාගී වන ලෙස ආරාධනා කළ අතර මෙය රටේ විවිධාකාර අපනයන හැකියාවන් සහ ආයෝජන විභවයන් ප්‍රදර්ශනය කරන බව වැඩිදුරටත් සඳහන් කරන ලදී.

    එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළදපොල ලෙස පවතී. 2025 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සිට එක්සත් ජනපදයට මුළු අපනයන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 2,999.15 ක් වූ අතර, එම කාලය තුළ ශ්‍රී ලංකාවට මුළු ආනයන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 732.22 ක් විය.

    එක්සත් ජනපදයට ශ්‍රී ලංකාවේ අපනයන 2024 වර්ෂයට සාපේක්ෂව 2025 වර්ෂයේදී සියයට 3.07 කින් වැඩි වී ඇත. 2025 වර්ෂයේදී එක්සත් ජනපදයට අපගේ ප්‍රධාන අපනයන නිෂ්පාදන වූයේ ඇඟලුම්, රබර් නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු සහ සාන්ද්‍රණ සහ සැකසූ ආහාර ය.

    මෙම රැස්වීම ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ශක්තිමත් ආර්ථික හවුල්කාරිත්වය සහ ඉදිරි වසරවලදී වෙළඳ හා ආයෝජන සබඳතා ගැඹුරු කිරීම සඳහා ඇති කැපවීම අවධාරණය කළේය.

    Video Story

    Stock Market

    Exchange Rates