වේයන්ගොඩට නව බහුවිධ භාණ්ඩ ප්‍රවාහන හා ගබඩාකරණ මධ්‍යස්ථානයක්

    October, 29, 2025

    භාණ්ඩ ප්‍රවාහන සේවාව කාර්යක්‍ෂම කිරීමේ අරමුණින් ස්ථාපිත කෙරෙන භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථාන ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත්කරමින් බස්නාහිර පළාතේ ගම්පහ, වේයන්ගොඩ බහුවිධ භාණ්ඩ ප්‍රවාහන හා ගබඩාකරණ මධ්‍යස්ථානය පිහිටුවීමට යොදාගැනීමට නියමිත භූමි ප්‍රදේශය නිරීක්‍ෂණය කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ (28) සහභාගි විය.

    ආහාර දෙපාර්තමේන්තුව සතු වේයන්ගොඩ පිහිටි අක්කර පනහක පමණ වන දැනට ඌන උපයෝජනයක්ව පවතින, අතහැර දමා ඇති භූමි ප්‍රදේශය සංවර්ධනය කර මෙම භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානය ඉදිකිරීමට සැලසුම් කර ඇත.

    මෙහි දැනට පවතින ආර්ථික මධ්‍යස්ථානයට, සති පොළට, හමුදා කඳවුරට සහ ඖෂධ ගබඩාවට නව භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථාන ඉදිකිරීමත් සමග පහසුකම් රැසක් සැලසේ.

    මෙම නිරීක්‍ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා :

    "ජනාධිපතිතුමා අය වැය යෝජනාවෙන් ඉදිරිපත් කළ ආකාරයට මෙරට පොදු ප්‍රවාහන සේවාව, භාණ්ඩ ප්‍රවාහන සේවාව විධිමත් කරන්න රජය පහසුකම් සකස්කර තිබෙනවා. එම වැඩපිළිවෙල යටතේ කොළඹ වරායට ආසන්න වේයන්ගොඩ ප්‍රදේශයේ මෙම නව බහුවිධ භාණ්ඩ ප්‍රවාහන හා ගබඩාකරණ මධ්‍යස්ථානය ඉදිකිරීමට ඉදිරියේදී කටයුතු කරනවා. ඒ සඳහා පූර්ණ ශක්‍යතා අධ්‍යයනයක් සිදුකර එම වාර්තාව අනුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගන්නවා. මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වෙළඳ අමාත්‍යංශය ඇතුලු ආයතනවල පූර්ණ දායකත්වය මේ සඳහා ලබා ගන්නවා. මෙම ස්ථානයට 1990 වසර වන තෙක් දුම්රිය සේවාව ක්‍රියාත්මක වී තිබෙනවා. නමුත් පසුකාලීනව එය නතරවීම අපරාධයක්. වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ සිට දුම්රිය මාර්ගය දීර්ඝකර භාණ්ඩ ප්‍රවාහනයට අවශ්‍ය පහසුකම් ලබාදෙන්න සැලසුම් කර තිබෙනවා” යැයි සඳහන් කළේය.