May, 16, 2016
2016 මාර්තු 31 වනදායින් අවසන් වන මාස තුන තුළදී වැට් බද්දට සහ ජාතිය ගොඩනැගීමේ බද්දට පෙර කොමර්ෂල් බැංකුවේ ලාභය රුපියල් බිලියන 5.377 ක් දක්වා පසුගිය වසරට සාපේක්ෂව 27.89%ක ශක්තිමත් වර්ධනයක් පෙන්වමින් 2016 වසර ආරම්භ කර තිබේ.
ශ‍්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ මෙම කාර්තුවේදී බැංකුවේ බදු වලට පෙර ලාභය රුපියල් බිලියන 4.579 ක් දක්වා පසුගිය වසරට සාපේක්ෂව 27.95%කින් වර්ධනය වූ බවත්ල බදු වලට පසු ලාභය රුපියල් බිලියන 3.234 ක් දක්වා 28.92% කින් වර්ධනය වී තිබෙන බවයි.
පසුගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී බැංකුවේ ණය පොත රුපියල් බිලියන 101 කින් කැපී පෙනෙන වර්ධනයක් ලබා ඇත. මේ අනුව, බැංකුවේ පොලී ආදායම ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී 15.45% කින් හෙවත් රුපියල් බිලියන 2.415 කින් රුපියල් බිලියන 18.050 ක් දක්වා වර්ධනය වී තිබෙන බව බැංකුව සඳහන් කරයි. මේ අතර, මෙම කාල පරිච්ඡේදයේදී බැංකුවේ ශුද්ධ පොලී ආදායම ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව 12.17% කින් රුපියල් බිලියන 8.113 ක් දක්වා වර්ධනය වී ඇත. ශුද්ධ පොලී ආදායමේ වර්ධන ප‍්‍රතිශතය අඩු වී ඇත්තේ පොලී අනුපාත ඉහළ යාම නිසා පොලී වියදම 18.27% කින් හෙවත් රුපියල් බිලියන 9.937 දක්වා වර්ධනය වීම නිසයි.
බැංකුව සඳහන් කරන්නේ සලකා බලන කාල සීමාව තුළදී බැංකුවේ සමස්ත මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 10.979 ක්වී තිබෙන බවත් එය 13.39% ක වර්ධනයක් බවයි. බැංකුවේ අක‍්‍රීය ණය අඩුවීම නිසා ඒ වෙනුවෙන් වෙන්කළ ප‍්‍රතිපාදන 25.17%කින් කැපී පෙනෙන ලෙස අඩුකර ගැනීමට හැකිවීම නිසා මෙවැනි ලාභයක් ලබාගැනීමට හැකිවී තිබේ. මේ අතර, මෙම කාල සීමාව තුළදී බැංකුවේ ශුද්ධ මෙහෙයුම් ආදායම 19.53% කින් වර්ධනය වී රුපියල් බිලියන 9.983 ක්වී තිබේ.
‘‘පවතින වෙළඳපොළ තත්ත්වයන් සලකා බැලීමේදී මෙය මේ වසර සඳහා ශක්තිමත් ආරම්භයක්ල’’ යනුවෙන් මෙම මූල්‍ය ප‍්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් බැංකුවේ සභාපති ධර්ම ධීරසිංහ මහතා පැවසීය. ‘‘ව්‍යාපාරයේ සියළුම ප‍්‍රධාන අංශවල ප‍්‍රමාණයන් වර්ධනය කර ගැනීමට බැංකුවට තිබෙන හැකියාව නිසා බැඳුම්කර වෙළඳාමේ ලාභය අඩුවීමේ බලපෑම අවමකර ගැනීමට හැකිවී තිබෙනවා. මේ තුළින් බැංකුවේ මෙහෙයුම් ශක්තිය පිළිඹිබු වන අතර එය සමස්ත වසරේම ප‍්‍රතිඵල සඳහා යහපත් ලෙස බලපානු ඇති.’’
කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී ජෙගන් දුරෙයිරත්නම් මහතා බැංකුවේ 2016 පළමු කාර්තුවේ මූල්‍ය ප‍්‍රතිඵල විශ්වසනීයත්වයෙන් ඉහළ බවත් බැංකුවේ ශක්තිමත් ලෙස වර්ධනය වන වත්කම් පදනම තුලින් මේ වසරේදී බැංකුවේ සියළුම අංශවල කැපී පෙනෙන වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බවත් සඳහන් කළේය.
2015 දෙසැම්බර් 31 වනදා සිට 2016 මාර්තු 31 වනදා දක්වා මාස තුනක කාලය තුළදී බැංකුවේ සමස්ත වත්කම් ප‍්‍රමාණය රුපියල් බිලියන 45 කින් හෙවත් 5.09% කින් රුපියල් බිලියන 924.575 ක් දක්වා වර්ධනය වී තිබේ. සලකා බලන කාර්තුව තුළදී බැංකුවේ දළ ණය සහ අත්තිකාරම් ප‍්‍රමාණය රුපියල් බිලියන 29.317 කින් වර්ධනය වී තිබෙන්නේ 2015 අවසානයේදී තිබූ රුපියල් බිලියන 526.167 ක සිට රුපියල් බිලියන 555.484 ක් දක්වායි. මෙය සාමාන්‍යයෙන් මාසයකට රුපියල් බිලියන 9.77 ක වැඩිවීමක් ලෙස හැඳින්විය හැකිය.
සලකා බලන කාල සීමාව තුළදී එක් මාසයක් තුළදී රුපියල් බිලියන 9.65 ක සාමාන්‍යය තැන්පතු වර්ධනයක් පෙන්නුම් කරමින් 2016 මාර්තු 31 වනදා වනවිට බැංකුවේ සමස්ත තැන්පතු ප‍්‍රමාණය රුපියල් බිලියන 653.040 ක් දක්වා වර්ධනය වී තිබේ.
සලකා බලන කාර්තුවේදී ප‍්‍රධාන ව්‍යාපාරික අංශ වලදී ලැබූ අනිකුත් වර්ධනයන් වන්නේ ශුද්ධ ගාස්තු සහ කොමිස් 16.19% රුපියල් බිලියන 1.460 ක් දක්වාත් සමස්ත අනිකුත් ආදායම් 17.87% කින් රුපියල් බිලියන 1.406 ක් දක්වා වර්ධනය වීමයි. කෙසේවෙතත්, බැඳුම්කර වෙළඳාමෙන් ලැබූ ලාභ 81.36% කින් හෙවත් රුපියල් බිලියන 1.470 කින් පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව අඩුවී ඇත.
බැංකුව විසින් සලකා බලන මාස තුන තුළදී හානි පූර්ණ ගාස්තු වෙනුවෙන් කළ සමස්ත වෙන්කිරීම් රුපියල් මිලියන 995.075 ක් දක්වා රුපියල් මිලියන 334.617 කින් අඩුවී ඇති අතර මේ සඳහා හේතුවී තිබෙන්නේ තනි පුද්ගල හානි පූරණය සඳහා පසුගිය වසරේ මුල් කාර්තුවේ වෙන් කළ රුපියල් මිලියන 210.453 ක අගයට සාපේක්ෂව මෙම කාර්තුව තුල රුපියල් මිලියන 142.763 ක අඩුවීමක් තිබීමයි. තනි පුද්ගල හානි පූරණය සඳහා සලකා බලන ණය ප‍්‍රමාණය එම කාල සීමාවේදී අඩුවීම මෙයට ප‍්‍රධාන හේතුව වී තිබේ.
2016 මාර්තු 31 වනදා වනවිට බැංකුවේ සමස්ත කොටස්කාර අරමුදල් රුපියල් බිලියන 64.855 ක්වී තිබෙන අතර මෙය 2015 දෙසැම්බර් 31 වනදා පැවති අගයට වඩා අඩු අගයකි. බැංකුවේ දෙවන පෙළ ප‍්‍රාග්ධන පදනම නංවා ගැනීම වෙනුවෙන් සලකා බලන කාර්තුවේදී බැංකුව ණයකර නිකුතුවක් මගින් රුපියල් බිලියන 6.179 ක මුදලක් රැස්කර ගැනීමට කටයුතු කරන ලදී.
සලකා බලන කාර්තුව අවසන් වනවිට බැංකුවේ පළමු පෙළ ප‍්‍රාග්ධන ප‍්‍රමාණත්ව අනුපාතය (Tier I capital adequacy ratio) 11.12% ක මට්ටමක තිබෙන අතර සමස්ත ප‍්‍රාග්ධන ප‍්‍රමාණත්ව අනුපාතය (Total capital adequacy ratio) 14.26% ක සිට 14.77% ක් දක්වා ණයකර නිකුතුව මගින් ලැබුණු සහයෝගය හමුවේ ඉහළ ගොස් තිබේ. බැංකුවේ දළ සහ ශුද්ධ අක‍්‍රීය ණය අනුපාතය පිළිවෙලින් 2.64% ක් සහ 1.38% ක් වී තිබෙන්නේ පසුගිය වසරේදී අවසානයේදී තිබූ 2.74% ක සහ 1.41% මට්ටමක සිටයි. 2015 පළමු කාර්තුව අවසන් වනවිට මෙම අනුපාතයන් පැවතුණේ 3.40% ක් සහ 1.88% ක් ලෙසයි.
සමූහයක් ලෙස ගත්විට කොමර්ෂල් බැංකුව, එහි අනුබද්ධ සමාගම් සහ පාර්ශවකරුවන් සලකා බලන මාස තුන තුළදී බදු වලට පෙර රුපියල් බිලියන 4.640 ක ආදායමක් ලබා තිබෙන අතර එය 27.74% ක වර්ධනයකි. මෙම කාලසීමාවේදී බදු වලට පසු ලාභය රුපියල් බිලියන 3.264 ක්වී තිබෙන අතර එය 28.65% ක වර්ධනයක් වේ.
Video Story