May, 21, 2018
මෙරට ඉහළ පෙළේ වෘත්තිකයින් දෙදෙනෙකු වන මහාචාර්ය අර්ජුන ද සිල්වා හා ජොහාන් විජේසිංහ, ශ්‍රීලංකන් ගුවන්සේවා සමාගමේ නව අධ්‍යක්ෂවරුන් ලෙස පත් කර තිබේ.
හිටපු ජ්‍යෙෂ්ඨ බැංකුකරුවකු වන රංජිත් ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රීලංකන් ගුවන්සේවයේ නව අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය දා පත්කරනු ලැබූ අතර මනෝ තිත්තවැල්ල, සුසන්ත කටුගම්පල, ආචාර්ය රොෂාන් පෙරේරා හා එයාර් මාර්ෂල් කපිල ජයම්පති එහි සෙසු සාමාජිකයින් ලෙසින් පත්කෙරුණි.
ශ්‍රී ලංකාවේ කීර්තිමත් වෛද්‍ය වෘත්තිකයෙකු වන මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා වර්තමානයේ දී ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ සභාපතිවරයා වේ. ඔහු ජෝර්ජ් ස්ටුවර්ට් ෆයිනෑන්ස් සමාගමේ හිටපු සභාපතිවරයා වන අතර පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කරනු ලැබීය. ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රවීනයෙකු ලෙසින් මොහු ගෞරවාදරයට පාත්‍ර වී ඇත.
ජොහාන් විජේසිංහ මහතා මීට පෙර ශ්‍රීලංකන් ගුවන්සේවයේ ඉහළ පෙළේ තනතුරු කිහිපයක්ම හෙබවූවෙකි. 2008 වසරේ දී ඔහු ශ්‍රීලංකන් ගුවන්සේවයෙන් ඉල්ලා අස්වන විට ඔහු එහි වසර 19 ක් සේවාකාලයක් සපුරා තිබූ අතර ශ්‍රීලංකන් ගෝලීය භාණ්ඩ මෙහෙයුම් ප්‍රධානියා ලෙසින් කටයුතු කළේය. එසේම ලන්ඩන්, සිංගප්පූරු හා ඉන්දුනීසියා හි ශ්‍රීලංකන් කාර්යාලයීය ප්‍රධානියා ලෙසින් ද විජේසිංහ මහතා කටයුතු කර ඇත. Alufab PLC හි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසින් වත්මනෙහි කටයුතු කරන ඔහු හේලීස් සමූහයේ ගුවන් අංශයේ ප්‍රධානියා ලෙසින් ද කටයුතු කරනු ලබයි.
පසුගිය අප්‍රේල් 05 වැනිදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රීලංකන් ගුවන්සේවා සමාගමේ නව සභාපතිවරයා වන රංජිත් ප්‍රනාන්දු මහතා කියා සිටියේ, තමන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ ව්‍යාපාරික පළපුරුද්ද යොදා ගනිමින් වසර දෙක තුනක් තුළ දී මෙය ලාභදායී තත්ත්වයට පත් කරලීම සිය අරමුණ බවයි. එහිදී වැඩිදුරටත් ප්‍රනාන්දු මහතා පැවසුවේ ශ්‍රීලංකන් ගුවන් සමාමේ මේ වන විට ඇත්තේ සෘණ ප්‍රාග්ධනයක් බවත් එය නැවත ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා ආණ්ඩුවෙන් මෙන්ම පිටස්තර අයගෙන් ද උපකාර බලාපොරොත්තු වන බවත්ය.