October, 22, 2025
2025 මාර්තු 31න් අවසන් මූල්‍ය වර්ෂය තුළ ශ්‍රීලංකන් ගුවන් සමූහය විසින් රුපියල් බිලියන 30.7ක (විනිමය ලාභ සහ කාලසටහන්ගත නොකළ එන්ජින් අලුත්වැඩියා වියදම් ගිණුම්ගත කිරීමට පෙර) මෙහෙයුම් ලාභයක් උපයා තිබේ. 2023/24 මූල්‍ය වර්ෂයේ දී සමූහය විසින් රු. බිලියන 39.7ක මෙහෙයුම් ලාභයක් වාර්තා කර තිබුණි.
කෙසේ වෙතත් 2024/25 මූල්‍ය වර්ෂය අවසානයේ දී සමූහය විසින් රුපියල් බිලියන 2.7ක ශුද්ධ අලාභයක් වාර්තා කර ඇති අතර, ඒ සඳහා ප්‍රධාන වශයෙන් රුපියල් බිලියන 31.6ක ශුද්ධ මූල්‍ය පිරිවැය බලපාන ඇති ශ්‍රීලංකන් ගුවන්සේවයේ සභාපති සරත් ගනේගොඩ මහතා පවසයි. 2024/25 වාර්ෂික වාර්තාවෙහි සිය සමාලෝචනය සටහන් කරමින් ශ්‍රීලංකන් සභාපතිවරයා මේ බව කියා සිටී.
මෙහිදී සභාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ 2024/25 වසර තුළ මගී මෙහෙයුම් වලින් ලබාගත් ආදායම රු. බිලියන 234.5ක් වූ බවත් එය පෙර වසරට සාපේක්ෂව 15%ක අඩුවීමක් බවත්ය. 2023/24 මූල්‍ය වර්ෂයේ දී මෙම වටිනාකම රු. බිලියන 276.2ක් ලෙසින් සටහන්ව තිබුණි.
මෙකී අඩුවීම කෙරෙහි ප්‍රධාන වශයෙන් ආදායම අඩු වීම සහ ගුවන් යානා ඇණියේ පැවති සීමා බලපා ඇති බව පවසන සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ 2023/24 මූල්‍ය වර්ෂයට සාපේක්ෂව භාණ්ඩ ආදායම 2%කින් වර්ධනය වී ඇති බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වන ශ්‍රීලංකන් එයාර්ලයින්ස් හි සභාපති සරත් ගනේගොඩ මහතා,
“බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට (BIA) විදේශීය ගුවන් සමාගම්වලට අයත් ගුවන්යානා ද විශාල ප්‍රමාණයක් ආපසු පැමිණීමත් සමඟ, ගුවන් පර්යන්තය සහ ඒ ආශ්‍රිත සේවාවන්ගෙන් සමූහයට රුපියල් බිලියන 24.9ක මුළු ආදායමක් ලබා ගැනීමට හැකි වූ අතර එය පෙර වසරට සාපේක්ෂව 17%ක වර්ධනයකි (2023/24: රුපියල් බිලියන 21.2). යානස්ථ ආහාර සැපයුම් ආදායම රුපියල් බිලියන 7.3ක් ලෙස වාර්තා වූ අතර එය පෙර වසරට සාපේක්ෂව 13% ක වර්ධනයකි. ජෙට් ඉන්ධන මිල අඩුවීමත් සමඟ, ගුවන් සමාගමේ විවිධ පිරිවැය ඉතිරිකිරීමේ සහ කාර්යක්ෂමතා මුලපිරීම් සපුරාලමින් සමූහයේ විනිමය ලාභයට පෙර සහ සැලසුම් නොකළ අලුත්වැඩියා පිරිවැයට පෙර, මෙහෙයුම් ලාභය 9%කින් අඩු විය.“
ශ්‍රීලංකන් එයාර්ලයින්ස් හි 2024/25 වාර්ෂික වාර්තාවෙහි සඳහන් මූල්‍ය විශේෂ තොරතුරු කිහිපයක් පහතින් දැක්වේ.

Video Story