ශ්‍රීලංකන් ගුවන් සමාගම බැංකොක් වෙත විශේෂ ගුවන් යානාවක් පිටත් කරයි

    December, 23, 2015

    බැංකොක් හි ස්වර්ණභූමි ගුවන් තොටුපළේ දී ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානාවක ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් එහි කොළඹ සිට බැංකොක් බලා පිටත් වීමට නියමිත වූ UL883 දරණ ගුවන් යානාවේ ගුවන් ගමන අත්හිටුවීමට කටයුතු කරන ලදී. එමගින් ගුවන් මගීන්ට සිදුවන අපහසුතාවය අවම කිරීම සදහා ගුවන් සමාගම විසින් විශේෂ ගුවන් යානාවක් කොළඹ සිට බැංකොක් වෙත ක්‍රියාත්මක කර ඇත.

    ස්වර්ණභූමි ගුවන් තොටුපළේ භූමි මෙහෙයුම් සිදුකරන්නන් විසින් පසුගිය අඟහරුවාදා රාත්‍රියේ (දෙසැම්බර් මස 22 වැනිදා) ගමන් මලු ඇදගෙන යාමේ ට්‍රේලරයක් එහි නවතා තිබූ ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් එයාර්බස් A330-300 ගුවන් යානාවේ ගැටීමෙන් එහි එන්ජිමක පිටත ආවරණයට (engine cowling) හානි සිදුවිය. මේ නිසා ගුවන් සමාගමට එම යානය හදිසි අලුත්වැඩියාවකට භාජනය කිරීමට සිදුවිය.

    මේ අනුව ගුවන් සමාගම විසින් කොළඹ සිට අනෙකුත් ගුවන් සේවා හරහා සංචාරය කිරීමට අපේක්ෂිත ගුවන් මගීන් 32 ක් සඳහා කඩිනමින් පහසුකම් සළසා දීමට කටයුතු කරන ලදී. අනෙකුත් ගුවන් මගීන් 251 සඳහා බැංකොක් හි හෝටල් නවාතැන් පහසුකම් සළසා දී ඇත. මේ අනුව 283ක් වූ සියලුම මගීන් සඳහා ආහාර පාන සැපයීමට ද ගුවන් සමාගම කටයුතු කර ඇත.

    පැය කිහිපයකින් පසුව ගුවන් සමාගම විසින් කොළඹ සිට බැංකොක් වෙත විශේෂ ගුවන් යානාවක් අනෙකුත් මගීන් කොළඹට රැගෙන ඒම සඳහා පිටත් කර ඇත. මෙම UL1423 දරණ ගුවන් යානාව කොළඹ වෙත බඳාදා (දෙසැම්බර් 23 වැනිදා) ජාතික වේලාවෙන් පැය 1715 (ප.ව 5:15) ට පැමිණීමට නියමිතය.