ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඩොලර් මිලියන 175ක බැඳුම්කර ප්‍රතිව්‍යූහගතකරණයට නිල ණයහිමි කමිටුවේ විරුද්ධත්වයක් නැහැ – මුදල් ලේකම්

    December, 19, 2025

    ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ගෙවීම් පැහැර හැර තිබෙන ඇමරිකානු ඩොලර් මිලියන 175ක වටිනාකමකින් යුතු සහතික කළ බැඳුම්කර ප්‍රතිව්‍යූහගතකරණ සඳහා මේ වන විට ගෙන ඇති පියවර සම්බන්ධයෙන්, නිල ණය හිමි කමිටුවේ (OCC) විරුද්ධත්වයක් නොමැති බව දැනුම් දී තිබේ. අද (19) දින මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මේ බව අනාවරණය කර සිටියේය.

    "ශ්‍රීලංකන් ගුවන්සේවයේ විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් එහි ඊළග පියවර විදියට, නීතිමය අවශ්‍යතාවයන් ලෙස, ශ්‍රී ලංකාවට උපදෙස් සපයන නීති විශාරදයින් විසින් දන්වා තිබුණු පරිදි, නිල ණයහිමි කමිටුවෙන් අවශ්‍ය තොරතුරු විමසා යැව්වා ශ්‍රී ලංකා රජය විසින්. එහිදී මේ වැඩසටහනට අවශ්‍ය අනුමැතිය, මේ ක්‍රමවේදයෙන් ඉදිරියට යාම පිළිබඳව විරුද්ධත්වයක් නොමැති බවට අපට දන්වා එවා තිබෙනවා. ශ්‍රීලංකන් ගුවන් සේවය විදියටත්, රටක් විදියටත් මේ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය සාර්ථකව නිමාකර ගැනීම සඳහා මෙය ඉතාම වැදගත් සංධිස්ථානයක් වෙනවා. මෙහි තවත් පියවර කිහිපයක් තිබෙනවා", යනුවෙන් ලේකම්වරයා මෙහිදී සඳහන් කළේය.

    ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් මේ වන විට ගෙවීම් පැහැර හැර තිබෙන, ඩොලර් මිලියන 175ක සහතික කළ බැඳුම්කර, ප්‍රතිව්‍යූහගතකරණය සඳහා ප්‍රධාන බැඳුම්කර හිමි කණ්ඩායම සමග ප්‍රතිපත්තිමය එකඟතාවයකට එළඹි බව ශ්‍රීලංකන් ගුවන් සේවය හා ශ්‍රී ලංකා රජය පසුගිය නොවැම්බර් 20 දින සිංගප්පූරු කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී තිබුණි. ශ්‍රීලංකන් ගුවන් සේවයේ අදාළ ඩොලර් මිලියන 175ක බැඳුම්කර ප්‍රමාණයෙන් 55%ක් නියෝජනය කරනු ලබන්නේ මෙම බැඳුම්කර හිමි කණ්ඩායම විසිනි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ නිල ණය හිමි කමිටුවේ (Official Creditor Committee - OCC) විරෝධතා නොදැක්වීම්වලට (non-objection) යටත්ව ප්‍රතිපත්තිමය වශයෙන් එහිදී අදාළ ගිවිසුමට එළඹ තිබුණි. ඒ අනුව නිල ණය හිමි කමිටුවේ ඒ සඳහා විරෝධතාවක් නොමැති බව මේ වන විට දැනුම් දී තිබේ.