November, 20, 2024
ශ්‍රීලංකන් ගුවන් සේවයේ නවතම ‘මතක’ නිපැයුම් එකතුව පසුගියදා පැවති ‘Sri Lanka Design Festival’ හිදී එළිදක්වන ලදි. 2024 නොවැම්බර් 06 සිට 11 දක්වා ‘Cinnamon Life’ හිදී පැවැත්වුණු මෙම වැඩසටහනේ නිල ගුවන් සේවා සහකරු ලෙස කටයුතු කළේ ශ්‍රීලංකන් ගුවන් සේවයයි. 2021 වසරේදී ශ්‍රීලංකන් ගුවන් සේවයේ ‘මතක’ සන්නාමය හඳුන්වා දෙන ලද්දේ එම ගුවන් සේවය විසින් භාවිතා කර ඉවත් කරන ලද භාණ්ඩ යොදාගෙන, වෙනත් අරමුණු සඳහා භාවිතයට ගත හැකි ජීවන රටා හා විලාසිතාමය නිෂ්පාදන එකතුවක් හඳුන්වා දීමේ අරමුණිනි. මෙය දකුණු ආසියානු කලාපයේ වඩාත්ම තිරසාර ගුවන් සේවය බවට පත්වීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය දරන උත්සාහයේ තවත් වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකි වේ.
ලොව පුරා බොහෝ සමාගම්වලට මෙන්ම ශ්‍රීලංකන් ගුවන් සේවයටද, තමන් භාවිතයෙන් ඉවත් කරන දේවල් බැහැර කිරීම සඳහා ඇති හොඳම ක්‍රමවේදය කුමක්ද යන ගැටලුව මතු වී තිබිණි. ගුවන් සේවයක් විසින් භාවිතයෙන් ඉවත් කරනු ලබන භාණ්ඩ යනු ආසන ආවරණ, බ්ලැන්කට්, තිර රෙදි, නිල ඇඳුම් සහ භාණ්ඩ රඳවන දැවමය පැලට් යනාදියයි. ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ‘මතක’ ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ මෙම ගැටලුවට පිළියමක් වශයෙනි. මෙමගින් ගුවන් යානා තුළ භාවිතා කර ඉවත දමනු ලබන දේවල් අලුත්ම පාරිභෝගික භාණ්ඩ බවට පරිවර්තනය කරනු ලබයි. ඒ අනුව ‘මතක’ ව්‍යාපෘතිය යනු, පරිසර හිතකාමීත්වය සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය සතු දැක්ම නව මානයකට රැගෙන යමින්, ගුවන් මගීන්ගේ මතකවල ශේෂයන් සුවිශේෂී නිෂ්පාදන බවට පත් කරන පුරෝගාමී ව්‍යාපෘතියක් ලෙස හැඳින්විය හැකි වේ.
නවතම ‘මතක’ නිපැයුම් එකතුවට ට්‍රැවල් බෑග්, ටෝට් බෑග්, ‘පෙග් ඩෝල්’ වර්ගයේ බෝනික්කන්, ටේබල් රනර් සහ ටේබල් මැට් ඇතුළු නිෂ්පාදන රාශියක් ඇතුළත් වී ඇත. එමෙන්ම මෙහි තවත් විශේෂත්වයක් වන්නේ ශ්‍රීලංකන් ගුවන් සේවය සිය ‘මතක’ ව්‍යාපෘතිය වෙනුවෙන් ප්‍රථම වරට තිරසාරත්ව ව්‍යවසායිකාවන් තිදෙනෙකු සමග අත්වැල් බැඳගැනීම ය. ලොනාලි රුද්‍රිගු (House of Lonali), රූත් වීරසිංහ (SO4) සහ ශාමින් අබිඩීන්ගේ (Pom’s Island) යන ව්‍යවසයිකාවන් සමග ශ්‍රීලංකන් ගුවන් සේවය මෙලෙස අත්වැල් බැඳගෙන සිටී. මීට අමතරව ‘මතක’ ව්‍යාපෘතිය, ආර්ථික වශයෙන් දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින කාන්තාවන් පිරිසකට ප්රතිලාභ සලසන වැඩසටහනක් බවටද පත් වී ඇත. ‘මතක’ එකතුව අතරින් ඇතැම් නිපැයුම් නිපදවනු ලබන්නේ එබඳු කාන්තාවන් විසින් වීම ඊට හේතුවයි.
“අතීතයේ පටන්ම ශ්‍රීලංකන් ගුවන් සේවය පරිසරයේ යහපත වෙනුවෙන් කැප වී කටයුතු කර තිබෙනවා. එහි නවතම පියවර වන ‘මතක’ එකතුව නිර්මාණය කිරීම සඳහා, අප මෙන්ම තිරසාරත්වය වෙනුවෙන් කැප වී සිටින මෙම විශිෂ්ට ව්‍යවසයිකාවන් සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. ‘Sri Lanka Design Festival’ හිදී ‘මතක’ එකතුව පිළිබඳව උනන්දු වූ සියලුම දෙනාට අපගේ ස්තූතිය හිමි වෙනවා. මෙවැනි පරිසර හිතකාමී වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාවට නැංවීමට අපට හැකි වී ඇත්තේ ඔවුන්ගේ ඒ උනන්දුව නිසයි. මෙම නිෂ්පාදන එකතුව ඉක්මනින් වෙළඳපොළට හඳුන්වා දීමට අප බලාපොරොත්තු වනවා.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචර්ඩ් නටාල් මහතා පැවසී ය.
“වර්තමාන ලෝකය තුළ වැඩි වැඩියෙන් තිරසාර ක්‍රමවේදයන් වෙත යොමු වීම අත්‍යවශ්‍යයි. මෙවැනි පසුබිමක් තුළ ‘මතක’ ව්‍යාපෘතියේ මීළඟ අදියර හඳුන්වා දීමට හැකි වීම අපට මහත් සතුටක්. අපගේ තිරසාර ඉලක්ක සමග මැනැවින් සමගාමී වන මෙම ව්‍යාපෘතිය, නවෝත්පාදනය, කාන්තා ව්‍යවසායකත්වය සහ ප්‍රජාව මූලික කරගත් ව්‍යාපාර ඔස්සේ සමාජයේ යහපත වෙනුවෙන් අර්ථවත් දායකත්වයක් ලබාදීම සඳහා සුවිශේෂී අවස්ථාවක් උදාකර දෙනවා. එමෙන්ම තිරසාරත්වය යනු පොදු වගකීමක් බවත්, සමාගම් වශයෙන් මෙන්ම ගෝලීය පුරවැසියන් වශයෙන් සැවොම එම වගකීමට සාඩම්බරයෙන් උර දිය යුතු බවත් එය අපට සිහිපත් කරවනවා.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ අලෙවිකරණ, පාරිසරික කටයුතු හා තිරසාරත්ව ප්‍රධානී සමින්ද පෙරේරා මහතා පැවසී ය.
Sri Lanka Design Festival හිදී ‘මතක’ නිපැයුම් එකතුවට අමතරව ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් තවත් තිරසාරත්ව වැඩසටහන් කිහිපයක්ද ඉදිරිපත් කරන ලදි. මෙහිදී ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් පැලට් දැව ප්‍රතිචක්‍රීකරණය කිරීම සහ එම දැව භාවිතයෙන් වෙනත් නිෂ්පාදන නිපදවීම සම්බන්ධ වැඩමුළුවක්ද සංවිධානය කර තිබූ අතර එය මෙහෙයවන ලද්දේ Pom’s Island හි නිර්මාතෘ ශාමින් අබිඩීන් විසිනි.
‘මතක’ ව්‍යාපෘතිය යනු ශ්‍රීලංකන් ගුවන් සේවයේ අලෙවිකරණ, පාරිසරික කටයුතු හා තිරසාරත්ව කණ්ඩායම විසින් පරිසරයේ යහපත වෙනුවෙන් දායක වීම සඳහා ක්‍රියාවට නංවන ලද අර්ථවත් වැඩසටහන් අතරින් එක් ප්‍රධාන පෙළේ වැඩසටහනකි. 2009 වසරේදී ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ආසියානු කලාපයේ ප්‍රථම වරට ‘පරිසර හිතකාමී ගුවන් ගමන්’ ආරම්භ කළ අතර, ‘Business Traveler’ විසින් 2016 වසරේදී එම ගුවන් සේවය ආසියානු පැසිෆික් කලාපයේ දෙවැනි අඩුම කාබන් විමෝචනයක් සහිත ගුවන් සේවය ලෙස නම්කරන ලදි.
ශ්‍රීලංකන් ගුවන් සේවයේ ‘මතක’ ව්‍යාපෘතිය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න: https://www.srilankan.com/en_uk/corporate/mathaka
Video Story