July, 8, 2025
ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් මෑතකදී මැලේසියාවේ සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය සමග එක් වී එරට තුළ සංචාරයක නිරත වීමට ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් පිරිසකට අවස්ථාව උදාකර දෙන ලදි. මෙහි අරමුණ වූයේ දෙරට අතර සංචාරක සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීමය.
මැලේසියාව යනු ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම සංචාරක ගමනාන්තයකි. අඩු වියදමකින් සංචාරය කිරීමට හැකි වීම, පවුලේ සැමට එක්ව නැරඹිය හැකි ස්ථාන බහුල වීම සහ සිත් සේ සාප්පු සවාරියේ යෙදීමට හැකි වීම වැනි හේතු රැසක් ඊට බලපා ඇත. මෙම සංචාරය මගින් එම ජනප්‍රියත්වය තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ශ්‍රීලංකන් ගුවන් සේවය දිනකට දෙවරක් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා පියාසර කරයි. ඒ නිසා ශ්‍රීලංකන් ගුවන් සේවය මැලේසියාව බලා යන සංචාරකයන්ගේ ප්‍රමුඛතම තේරීමක් බවට පත් වී ඇත.
මැලේසියාවට පැමිණෙන සංචාරකයන්ට පුත්‍රජයා, මෙලාකා, ජෙන්ටිං සහ ක්වාලාලම්පූර් වැනි නගර වෙත පැමිණ සංස්කෘතික වැදගත්කමකින් යුත් ස්ථාන සහ සංචාරක ආකර්ෂණය දිනූ ස්ථාන රාශියක් දැකබලා ගැනීමටත්, විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙමින් සිත් සේ විනෝද වීමටත්, ඉහළම තලයේ සන්නාමවලින් පැමිණෙන භාණ්ඩ මෙන්ම ලාභදායී භාණ්ඩ මිලදී ගැනීමටත් අවස්ථාව හිමි වේ. මැලේසියාවේ Genting Highlands සහ Batu Caves වැනි ස්ථාන සංචාරකයන් අතර බෙහෙවින් ජනප්‍රියය. එමෙන්ම ඔවුන්ට මැලේසියානු සහ රජ මාලිගය සහ Porta de Santiago වැනි ස්ථාන දැකබලා ගැනීමටත්, ජෝන්කර් වීදියේ (Jonker Street) රාත්‍රී වෙළඳපොළ අසිරිය අත්විඳිමටත්, මැලේසියාවේ විශාලතම සාප්පු සංකීර්ණය ලෙස සැලකෙන IOI City Mall වැනි ස්ථානවල සිත් සේ සාප්පු සවාරියේ යෙදීමටත් හැකියාව ලැබේ.
මැලේසියාව මේ වන විට උසස් අධ්‍යාපනයට පිවිසෙන ශ්‍රී ලාංකික සිසුන්ගේ ප්‍රියතම තෝරාගැනීමක් බවටද පත්වෙමින් පවතී. එමෙන්ම මැලේසියාව එහි ආහාර සංස්කෘතිය සම්බන්ධයෙන්ද ලොව පුරා සුවිශාල ජනප්‍රියත්වයක් හිමි කරගෙන තිබේ. මැලේසියාවේදී රස බැලිය හැකි ප්‍රණීත ආහාරපාන සොයා ලොව නන් දෙසින් සංචාරකයෝ එරටට ඇදී එති. මැලේසියාවට ආවේණික වූ සුහද සත්කාරකත්වයත් සමගින් එහි අපූර්වත්වය හා ආකර්ෂණය අත්විඳින සංචාරකයන් නැවත නැවතත් එරටට පැමිණීමට පෙළඹෙන්නේ නිතැතිනි.
මෙම සංචාරයට එක් වූ මාධ්‍යවේදීන් පිරිස මේ වන විට යළි දිවයිනට පැමිණ සිටින අතර, ඔවුන් ලද අත්දැකීම් පිළිබඳ තොරතුරු රැසක් දැනගැනීමට මෙරට ජනතාවට ඉදිරියේදී අවස්ථාව ලැබෙනු ඇත.
මෙම සංචාරය ශ්‍රී ලාංකිකයන්ට මැලේසියාවේ සුවිශේෂීත්වය සහ අපූර්වත්වය වඩාත් හොඳින් වටහා ගැනීමට උපකාරී වනු ඇති බවත්, එමගින් දෙරට අතර සංචාරය කරන මගීන් ප්‍රමාණය තවදුරටත් ඉහළ යනු ඇති බවත් ශ්‍රීලංකන් ගුවන් සේවය විශ්වාස කරයි.




Video Story