ශ්‍රීලංකන් ගුවන් සේවය අඛණ්ඩව දෙවැනි වරටත් ‘Arabian Cargo Awards’ හිදී ‘නැගී එන භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවාව’ සම්මානයෙන් පිදුම් ලබයි

    November, 25, 2024

    ශ්‍රීලංකන් ගුවන් සේවය අඛණ්ඩව දෙවැනි වරටත් ‘Arabian Cargo Awards’ හිදී ‘නැගී එන භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවාව’ සම්මානයෙන් පිදුම් ලැබීමට පසුගියදා සමත් විය. ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශිෂ්ට ජයග්‍රහණ, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ නවෝත්පාදන ඇගයීමට ලක් කරන මෙම සම්මාන උළෙලේ 2024 අදියර පසුගිය නොවැම්බර් 11 දින ඩුබායි හිදී පැවැත්විණි. ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින්, මෙහෙයුම්වල සාර්ථකත්වය, සේවා ප්‍රමිතිය සහ නිර්මාණශීලීත්වය වැනි සාධක ඇතුළත් ක්‍රියාපටිපාටියක් ඔස්සේ ජයග්‍රාහකයන් තෝරාගන්නා ලදි. මෙම සම්මානය හිමි වීම මගින් පෙනී යන්නේ, විශිෂ්ට, විශ්වාසනීය හා කාර්යක්ෂම භාණ්ඩ ප්‍රවාහන සේවාවක් ජාත්‍යන්තර මට්ටමින් ලබාදීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය දැරූ උත්සාහයන් බෙහෙවින් සාර්ථක වී ඇති බවයි.

    එමෙන්ම, ශ්‍රීලංකන් ගුවන් සේවය නවීන තාක්ෂණය සහ ඉහළ තලයේ භාණ්ඩ ප්‍රවාහන විසඳුම් වෙනුවෙන් ආයෝජනයන් සිදු කර ඇති බවට මෙම සම්මානය සාක්ෂි දරයි. පසුගිය වසර තුළ, ඉහළම තලයේ සේවා ප්‍රමිතීන් පවත්වා ගන්නා අතරම, නිරවද්‍යතාව හා පහසුව වැඩිදියුණු කිරීම සඳහා ඩිජිටල් පදනම් සමග අත්වැල් බැඳගනිමින් සිය භාණ්ඩ ප්‍රවාහන ධාරිතාව තවදුරටත් පුළුල් කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය කටයුතු කළේ ය.

    “මෙම සම්මානය හිමි වීම අපට මහත් ගෞරවයක්. මෙම ජයග්‍රහණය මගින් අපගේ කණ්ඩායමේ වෙහෙස මහන්සිය හා කැපවීම මැනැවින් පිළිබිඹු වනවා. මෙම ජයග්‍රහණය, දිගින් දිගටම ඉහළ තලයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන විසඳුම් හඳුන්වා දීම සඳහා අප දිරිගන්වන සාධකයක් බවට පත්වේවි.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන සේවා ප්‍රධානී චමින්ද පෙරේරා මහතා පැවසී ය.

    ලොව ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු බවට පත් වීම ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉලක්කයයි. ඉදිරියේදී තම යටිතල පහසුකම් තවදුරටත් පුළුල් කිරීමටත්, තිරසාර ක්‍රමවේදයන් වෙනුවෙන් ආයෝජනය කිරීමටත්, කාර්ය සම්පාදන ක්ෂේත්‍රයේ ඉහළ යන ඉල්ලුම් සපුරාලීම සඳහා උපකාරී වන නවීන තාක්ෂණයන් භාවිතයට ගැනීමටත් සමාගම සැලසුම් කර ඇත. විශ්වාසනීයත්වය, තිරසාරත්වය සහ පාරිභෝගික තෘප්තිය කෙරෙහි නිරන්තරයෙන් අවධානය යොමු කරමින්, අතිශයින් තරගකාරී ගෝලීය ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා ක්ෂේත්‍රය තුළ තම ජයග්‍රාහී මාවතේ අඛණ්ඩව ඉදිරියට ගමන් කිරීම ශ්‍රීලංකන් ගුවන් සේවයේ අරමුණ වී තිබේ.

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා www.srilankancargo.com වෙත පිවිසෙන්න.

    Video Story

    Stock Market

    Exchange Rates