ශ්‍රීලංකන් ගුවන් සේවය අඛණ්ඩව 3 වන වරටත් දකුණු ආසියානු කලාපයේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස SATA සම්මාන දිනයි

    October, 16, 2025

    ශ්‍රීලංකන් ගුවන් සේවය අඛණ්ඩව 3 වන වරටත් ‘South Asian Travel Awards’ (SATA) හිදී ‘Visitors’ Choice Awards’ කාණ්ඩය යටතේ ‘Leading International Airline in South Asia’ සම්මානයෙන් පිදුම් ලැබීමට පසුගියදා සමත් විය. ශ්‍රීලංකන් ගුවන් සේවය මේ වන විට ඉන්දියානු උප මහාද්වීපය, මැද පෙරදිග, ඈත පෙරදිග, යුරෝපය සහ ඕස්ට්‍රේලියාව යන කලාපවල රටවල් 21 ක ගමනාන්ත 33 ක් වෙත සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි. මෙයට දකුණු ආසියානු කලාපයේ රටවල් පහක ප්‍රධාන නගර ඇතුළත් වන අතර ශ්‍රීලංකන් ජාලය මගින් කලාපයේ හතරෙන් තුනක් ආවරණය වේ. මේ ආකාරයට ලොව ගමනාන්ත රැසක් ආවරණය කිරීම සහ ශ්‍රීලංකන් ගුවන් සේවයටම ආවේණික වූ සුහද සත්කාරය වැනි සාධක හේතුවෙන් එම ගුවන් සේවය දීර්ඝ කාලයක පටන් ගුවන් මගීන්ගේ ප්‍රමුඛතම තේරීමක් බවට පත් වී ඇත.  

    2016 වසරේදී ආරම්භ වූ SATA සම්මාන උළෙල මේ වන විට දකුණු ආසියාවේ සත්කාරකත්වය සහ ගමනාගමන සේවා සම්බන්ධ ප්‍රමුඛතම සම්මාන උළෙලක් ලෙස සැලකේ. දැඩි රාමුවක් යටතේ ක්‍රියාත්මක වන නාමයෝජනා ක්‍රියාවලියකින් අනතුරුව, සේවාවේ ප්‍රමිතිය, නවෝත්පාදනය සහ බලපෑම යනාදී සාධක රාශියක් සැලකිල්ලට ගනිමින්, අදාළ ක්ෂේත්‍රවල සාමාජිකයන්ගේ ප්‍රතිචාර අනුව එහි ජයග්‍රාහකයන් තෝරාගනු ලබයි.

    “මේ ආකාරයට අඛණ්ඩව තෙවරක්ම මෙම සම්මානයෙන් පිදුම් ලැබීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙම සම්මානය සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය තෝරාගත් සියලුම දෙනාට අප බෙහෙවින්ම ස්තූතිවන්ත වනවා. මෙය අප විසින් මගීන් වෙත පිරිනමනු ලබන විශිෂ්ට සේවාව, අපගේ ක්‍රමෝපායික වර්ධනය සහ ගුවන් සම්බන්ධතා හැකියාවන් මෙන්ම, දකුණු ආසියානු කලාපයේ ගුවන් සේවා ක්ෂේත්‍රයේ අනාගතය හැඩගැස්වීම සම්බන්ධයෙන් අප සතු දැක්ම මැනැවින් නිරූපණය කරන ජයග්‍රහණයක්. අපගේ විශ්වාසයන් කෙරෙහි අපගේ පාරිභෝගිකයන් මෙන්ම ක්ෂේත්‍රයේ සාමාජිකයන්ද විශ්වාසය තබා ඇති බව නැවත නැවතත් තහවුරු වීම පිළිබඳව අප හදවතින්ම සතුටු වනවා.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියානු සාගර කලාපය සඳහා කලාපීය කළමනාකරු ඉඳුනිල් විජේකෝන් මහතා පැවසීය.

    ශ්‍රීලංකන් ගුවන් සේවය සෑම විටම සැබෑම ශ්‍රී ලාංකික අත්දැකීමක් ගුවන් මගීන් වෙත තිළිණ කිරීමට උත්සාහ කරන ගුවන් සේවයකි. ගුවන් ගමන් අතරවාරයේ ලබාදෙන ආහාරපාන, විනෝදාස්වාද සේවා හා පහසුකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර තලයේ ප්‍රමිතීන් පවත්වා ගැනීමට එම ගුවන් සේවය සෑම විටම කටයුතු කරයි. සම්මානලාභී ශ්‍රී ලාංකික ආහාරපාන එකතුවක් මෙන්ම, ලොව නන් දෙසින් පැමිණෙන සංචාරකයන්ගේ රුචිකත්වයන්ට ගැළපෙන විවිධාකාර සම්ප්‍රදායන්ට අයත් ආහාරපාන වර්ග රාශියක්ද ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගමන් කරන මගීන්ට රසවිඳිය හැකි වේ. එමෙන්ම මගීන්ට සිය ගුවන් ගමන් අතරතුර  චිත්‍රපට, ටෙලිනාට්‍ය හා සංගීත වැඩසටහන් විශාල ප්‍රමාණයක් නැරඹීමට හෝ සවන් දීමට හැකි වන අතර, අවශ්‍ය නම් රැහැන් රහිත තාක්ෂණයන් ඔස්සේ එම වැඩසටහන් තම ජංගම උපාංග තුළින්ද නැරඹිය හැකි වේ.

    ලොව පුරා ගමනාන්ත රාශියක් වෙත ගමන් පහසුකම් සැලසීම හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය අවස්ථා රැසකදී ජාත්‍යන්තර ඇගයීම්වලට පාත්‍ර වී ඇත. දකුණු ආසියාව තුළ පමණක් ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව, පාකිස්ථානය, මාලදිවයින, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල් දක්වා සතිපතා ක්‍රියාත්මක වන ශ්‍රීලංකන් ගුවන් ගමන් වාර සංඛ්‍යාව 130 කට අධිකය. එම නිසා ව්‍යාපාර කටයුතු හෝ විවේකය සඳහා ශ්‍රී ලංකාව වෙත පැමිණෙන මගීන්ගේ මෙන්ම, ලොව වෙනත් රටවලට ගමන් කිරීමට බලාපොරොත්තු වන මගීන්ගේද ප්‍රමුඛතම තේරීමක් බවට පත්වීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් වී ඇත. මේ වන විට ශ්‍රීලංකන් ගුවන් සේවයේ සෘජු ගුවන් ගමන් සහ Codeshare ජාලය හරහා රටවල් 57 ක ගමනාන්ත 113 ක් ආවරණය කරනු ලබයි.