March, 12, 2026
ශ්‍රී ලංකන් ගුවන් සේවය 2026 අගෝස්තු 02 දින සිට කොළඹ සහ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරය අතර සතියකට ක්‍රියාත්මක වන ගුවන් ගමන් වාර ගණන 10 ක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ. ඉහළ යන ඉල්ලුම සහ වෙනස් වන වෙළඳපොළ තත්වයන් සැලකිල්ලට ගනිමින් මෙලෙස සතිපතා අමතර ගුවන් ගමන් වාර 3 ක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
මෑතක සිට ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සංචාරකයන් මෙන්ම සිය නෑදෑ හිතවතුන් බැලීම සඳහා එරට සිට මෙරටට පැමිණෙන මගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී. මේ නිසා ඔස්ට්‍රේලියාව ශ්‍රීලංකන් ගුවන් සේවයට අතිශයින් වැදගත් වෙළඳපොළක් බවට පත් වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් දෙරට අතර ගුවන් ගමන් වාර ගණන වැඩි කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය තීරණය කර තිබේ.
නව ගුවන් ගමන් සතිපතා කොළඹ සිට අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවල ක්‍රියාත්මක වේ. UL608 ලෙස කොළඹින් පැය 14:10 ට පිටත් වන මෙම ගුවන් යානය පසු දින පැය 04:30 ට මෙල්බන් නගරය වෙත ළඟා වනු ඇත. ආපසු පැමිණෙන ගුවන් යානය UL609 ලෙස බදාදා, සිකුරාදා සහ සඳුදා දිනවල මෙල්බන් නගරයෙන් පැය 06:00 ට පිටත් වී පැය 12:15 ට කොළඹට ළඟා වේ. මෙමඟින් මගීන්ට වඩාත් පහසුවෙන් දෙරට අතර ගමන් කිරීමට සහ ශ්‍රීලංකන් ගුවන් සේවය භාවිතා කරමින් වෙනත් ගමනාන්ත කරා ගමන් කිරීමටද හැකි වනු ඇත. සංචාරකයන්ට ශ්‍රී ලංකාව තුළ වැඩි කාලයක් ගත කිරීමට අවස්ථාව සලසා දෙන අතරම, කොළඹ හරහා ඉන්දියාව බලා ගමන් කරන මගීන්ගේ පහසුවද සැලකිල්ලට ගනිමින් මෙම නව කාලසටහන පිළියෙල කර තිබේ.
මෙම අතිරේක ගුවන් ගමන් වාරවලට අමතරව කොළඹ සහ මෙල්බන් අතර මෙතෙක් ක්‍රියාත්මක වූ සුපුරුදු UL604 දෛනික ගුවන් ගමන් එලෙසින්ම ක්‍රියාත්මක වේ. මෙම ගුවන් යානා දිනපතා පැය 00:20 ට කොළඹින් පිටත් වී පැය 14:20 ට මෙල්බන් වෙත ළඟා වන අතර, පැය 16:10 ට මෙල්බන් නගරයෙන් පිටත් වී පැය 22:25 ට කොළඹට ළඟා වේ. ශ්‍රී ලංකාව හරහා ඉන්දියාව ඇතුළු අනෙකුත් ගමනාන්ත වෙත පියාසර කරන මගීන්ද බහුලව මෙම ගුවන් යානය භාවිතා කරති.
මෙම නව ගුවන් ගමන් වාර දෙරට අතර ගමන් කරන ශ්‍රී ලාංකිකයන්ට සුවිශාල පහසුවක් වනු ඇත. එමඟින් ඔවුන්ට තම ගමන් සැලසුම් අනුව තමන්ට වඩාත් හොඳින් ගැළපෙන ගුවන් ගමන් වාරයක් තෝරාගැනීමට අවස්ථාව හිමි වේ. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයන්ට මෙමඟින් තම උපන් බිම සහ එහි වෙසෙන ඥාති හිතමිත්‍රාදීන් සමඟ සමීප සම්බන්ධා පවත්වාගෙන යාම වඩාත් පහසු වනු ඇත.
මෙය ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන්ටද බෙහෙවින් වැදගත් වනු නිසැකය. මෙමඟින් ඔවුන්ට තම අධ්‍යාපන කාලසටහන් සහ නිවාඩු අනුව තම සංචාරක සැලසුම් සකස් කරගැනීමට හැකියාව ලැබේ. ඒ අනුව බලන විට මෙය ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයන් සහ එරට ඉගෙනුම ලබන සිසුන් යන දෙපාර්ශ්වයටම බෙහෙවින් වාසිදායක පියවරක් ලෙස හැඳින්විය හැක.
මෙලෙස ගුවන් ගමන් වාර ගණන වැඩි කිරීම මඟින්, කලාපයේ ගුවන් ගමන් කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සතු පිළිගැනීම තවදුරටත් තහවුරු වනු ඇත. මෙමඟින් ඉන්දියානු මගීන්ටද වඩාත් පහසුවෙන් ශ්‍රී ලංකාව හරහා මෙල්බන් නගරය වෙත ගමන් කිරීමට අවස්ථාව හිමි වේ.
වැඩිදුර තොරතුරු සහ ගුවන් ටිකට්පත් සඳහා www.srilankan.com වෙත පිවිසෙන්න. ශ්‍රීලංකන් ගුවන් සේවයේ සමාජ මාධ්‍ය පිටු තුළින්ද වැඩිදුර තොරතුරු ලබාගත හැකි වේ.
Video Story