November, 28, 2024
ශ්‍රීලංකන් ගුවන් සේවය 2024 නොවැම්බර් 19 දින පැවති තමිල්නාඩු සංචාරක සම්මාන උළෙලේදී ‘විශිෂ්ටතම ගුවන් සේවා හවුල්කරු’ සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. පසුගිය කාලය තුළ ශ්‍රීලංකන් ගුවන් සේවය මෙවැනි ප්රමුඛ පෙළේ සම්මාන උළෙලකදී ඇගයීමට ලක් වූ දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර සැප්තැම්බර් මාසයේදී පැවති දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී ‘Visitors’ Choice Awards’ කාණ්ඩය යටතේ ‘දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය’ සම්මානය හිමි කර ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවයට හැකියාව ලැබිණි.
තමිල්නාඩු සංචාරක සම්මාන උළෙලේදී එම ප්‍රාන්තයේ සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් කැපීපෙනෙන දයකත්වයක් දැක්වූ ගුවන් සේවාවන් ඇගයීමට ලක් වේ. ශ්‍රී ලංකාවේ කොළඹ සහ තමිල්නාඩුවේ චෙන්නායි, තිරුචිරප්පල්ලි සහ මධුරෙයි අතර සතියකට ගුවන් ගමන් වාර 35 කට වැඩි සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරන ශ්‍රීලංකන් ගුවන් සේවය මේ වනවිට තමිල්නාඩුවේ ප්‍රධානතම ගුවන් සේවාවක් බවට පත් වී ඇත. සාප්පු සවාරි, වන්දනා ගමන් සහ වෛද්‍ය හේතු මත තමිල්නාඩුව වෙත පැමිණෙන සංචාරකයන් බොහෝ දෙනෙක් ශ්‍රීලංකන් ගුවන් සේවය භාවිතා කරති. තමිල්නාඩුවට අමතරව ශ්‍රීලංකන් ගුවන් සේවය ඉන්දියාවේ දිල්ලි, මුම්බායි, හයිද්‍රාබාද්, බෙංගලූරු, කොචින් සහ තිරුවනන්තපුරම් වෙත සතියකට ගුවන් ගමන් වාර 90 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරයි.
“තමිල්නාඩු සංචාරක සම්මාන උළෙලේදී ‘විශිෂ්ටතම ගුවන් සේවා හවුල්කරු’ සම්මානයෙන් පිදුම් ලැබීම අපට සුවිශාල ගෞරවයක්. මෙම කලාපයට විශිෂ්ටතම සේවාවක් ලබාදීම සඳහා අප දක්වන උනන්දුව හා කැපවීම මෙමගින් මනාව පිළිබිඹු වනවා. තමිල්නාඩුව යනු මෙම කලාපය තුළ සංචාරකයන්ගේ ප්‍රියතම ගමනාන්තයක් බවට පත්වීමේ හැකියාව සහිත ස්ථානයක්. එම නිසා ඉදිරියේදී තමිල්නාඩුව වෙත වැඩි වැඩියෙන් සේවාවන් සැපයීමට අප බලාපොරොත්තු වනවා.”ශ්‍රීලංකන් ගුවන් සේවයේ ජාත්‍යන්තර විකුණුම් හා බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා පැවසී ය.
“තමිල්නාඩුවේ ප්රමුඛ පෙළේ ගුවන් සේවාවන් අතර විශිෂ්ටතම ගුවන් සේවාවක් ලෙස ඇගයීමට ලක්වීම අපට මහත් සතුටක්. අපගේ පාරිභෝගිකයන් ශ්‍රීලංකන් ගුවන් සේවය කෙරෙහි නොසැලෙන විශ්වාසයක් තබා ඇති බවට මෙම ජයග්‍රහණය සාක්ෂි දරනවා. කලාපය තුළ අපගේ සේවාවන් තවතවත් වැඩිදියුණු කිරීමට අප නිරන්තරයෙන් යොමුකරවන්නේ ඒ විශ්වාසයයි.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ චෙන්නායි හි විකුණුම් කළමනාකරු කසුන් වෙලරත්න මහතා පැවසී ය.
පාරිභෝගික තෘප්තිය කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින් සංචාරකයන්ට වඩාත් විශිෂ්ට තලයේ අත්දැකීම් පෙළක් තිළිණ කිරීම ශ්‍රීලංකන් ගුවන් සේවයේ අරමුණ වී තිබේ. දකුණු ආසියාවේ වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ ගුවන් සේවාවන් අතරින් එකක් වන ශ්‍රීලංකන් ගුවන් සේවය වෙත හිමි වූ මෙම නවතම ඇගයුම, ශ්‍රී ලංකාව තුළ මෙන්ම දකුණු ආසියානු කලාපය තුළ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා එම ගුවන් සේවය ඉටුකරමින් සිටින මෙහෙවර පිළිබඳ මනා සාක්ෂියකි.
Video Story