March, 26, 2025
ශ්‍රීලංකන් ගුවන් සේවය නැවත වරක් ශ්‍රී ලංකාවේ ප්‍රාසාංගික කලාවන්ට අත්වැලක් වීමේ අරමුණින් Gustav Mahler Society of Colombo (GMSC) සමග අත්වැල් බැඳගෙන සිටී. ඒ 2025 මාර්තු 29 දින ලයනල් වෙන්ට් රඟහලේදී පැවැත්වෙන ‘Spring Concert’ ප්‍රසංගය වෙනුවෙනි. ශ්‍රී ලංකාවේ සුප්‍රකට සම්භාව්‍ය ගිටාර් වාදක ජූඩ් පීරිස් සමගින් ආරාධිත ජපන් ජාතික කලා ශිල්පීන් වන හිරෝෂි කොගුරේ සහ මියුකි ෆුනට්සු මෙම ප්‍රසංගයට සහභාගී වෙති. පෙරදිග අපරදිග භේදයකින් තොරව මෙවැනි කලා කටයුතුවලට සහයෝගය දෙමින්, දේශීය කලාකරුවන්ගේ දියුණුවට අත්වැලක් වෙමින්, ඔවුන්ගේ දක්ෂතා ලෝකයට රැගෙන යාමට ශ්‍රීලංකන් ගුවන් සේවය සෑම විටම කටයුතු කරයි.
“ශ්‍රී ලංකාව අතිශය ජනප්‍රිය ගමනාන්තයක් බවට පත්වෙමින් තිබෙන මේ මොහොතේ, ප්‍රාසාංගික කලාවන් දියුණු කිරීම සහ ජාත්‍යන්තර තලයේ ප්‍රාසාංගික නිර්මාණ සිදුකිරීම මගින් සංචාරක ව්‍යාපාරයට විශාල යහපතක් සිදුකිරීමට පුළුවන්. ප්‍රාසාංගික කලාවන් යනු සංචාරක ක්ෂේත්‍රය තුළ වැඩි වැඩියෙන් අවධානය යොමුවෙමින් පවතින අංගයක්. මේ මොහොතේ ශ්‍රී ලාංකික සංගීත, රංගන හා නර්තන කලා හැකියාවන් ලොවට ඉදිරිපත් කළ හැකි නම්, සංස්කෘතික අත්දැකීම් සම්බන්ධයෙන් උනන්දුවන් දක්වන සංචාරකයන් වැඩි වැඩියෙන් ආකර්ෂණය කරගැනීමට අපට හැකි වේවි.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ වාණිජ කටයුතු ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා පැවසීය.
“ගුවන් සේවාවක් ලෙස අපගේ ප්‍රධානතම අරමුණ වන්නේ ශ්‍රී ලංකාව ලෝකය සමග සම්බන්ධ කිරීමයි. මෙම හවුල්කාරීත්වය එම අරමුණ සමග මැනැවින් සමපාත වන දෙයක්. එහෙත් මෙය එම සීමාවෙන් ඔබ්බට යමින්, ශ්‍රී ලංකාව සහ ලෝකය අතර කලාවන් හා සම්ප්‍රදායන් හුවමාරු කරගැනීමට අවස්ථාව උදා කර දෙනවා. අප ප්‍රාසාංගික කලාවන්ගේ වටිනාකම හොඳින් හඳුනන, ශ්‍රී ලාංකිකයන්ගේ හැකියාවන් සම්බන්ධයෙන් දැඩි විශ්වාසයක් තබා ඇති සමාගමක්. නිසි අවස්ථාවක් ලැබෙන්නේ නම් අපගේ ශිල්පීන්ට ජාත්‍යන්තර කරළියට පිවිසිය හැකි බව අප දන්නවා. Gustav Mahler Society of Colombo සමග අත්වැල් බැඳගැනීම ඔස්සේ අපගේ ශිල්පීන්ට එබඳු අවස්ථා උදා කර දීමට අපට හැකි වේවි. මෙය වසර 3 ක් පුරා ක්‍රමයෙන් ශක්තිමත් වෙමින් ඉදිරියට ගිය හවුල්කාරීත්වයක්. ඉදිරියටත් Gustav Mahler Society of Colombo සමග එක්ව කටයුතු කරමින්, මෙම මෙහෙවර ශ්‍රී ලංකාව සහ ලෝකය පුරා ව්‍යාප්ත කිරීම අපගේ ඉලක්කයයි.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ කළමනාකරු (ආයතනික සන්නිවේදන) දීපාල් පෙරේරා මහතා පැවසීය.
“පසුගිය වසර 3 පුරාම ශ්‍රීලංකන් ගුවන් සේවය Gustav Mahler Society of Colombo හි නිල ගුවන් සේවා හවුල්කරු ලෙස කටයුතු කිරීම අපට විශාල ගෞරවයක්. ශ්‍රී ලංකාව තුළ වෘත්තීය වාද්‍ය වෘන්දයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව කලක පටන් පැවතුණා. Gustav Mahler Society of Colombo හි ඉලක්කය වුණේ එවැනි වාද්‍ය වෘන්දයක් නිර්මාණය කිරීමයි. මෙම මෙහෙවරෙහි වැදගත්කම වටහාගත් ශ්‍රීලංකන් ගුවන් සේවය 2023 වසරේදී අපට සහය වීමට ඉදිරිපත් වුණා. ඒ ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් ශිල්පීන්ට අනුග්‍රහය ලබාදීම තුළින්. ඒ ඔස්සේ ශ්‍රීලංකන් ගුවන් සේවය ශ්‍රී ලංකාවේ සම්භාව්‍ය බටහිර සංගීත ක්ෂේත්‍රය දියුණු කිරීමේ මෙහෙවර තුළ කේන්ද්‍රීය මෙහෙවරක් ඉටුකරන්නෙකු බවට පත්වුණා. Gustav Mahler Society of Colombo හි උත්සාහයන් ශ්‍රී ලාංකික වාද්‍ය වෘන්දවල ජාත්‍යන්තර කීර්තිය වැඩිදියුණු කිරීමට දායක වී ඇති බව පැහැදිලියි. අපගේ රට වෙනුවෙන් අප ලබා ඇති සියලුම ජයග්‍රහණවලදී ශ්‍රීලංකන් ගුවන් සේවය අපට විශාල ශක්තියක් වී ඇති බවට කිසිදු සැකයක් නැහැ.” Gustav Mahler Orchestra of Colombo හි ප්‍රධාන සංගීත මෙහෙයුම් ශිල්පී සහ සංගීත අධ්‍යක්ෂ ශ්‍රීමාල් වීරසිංහ මහතා පැවසීය.
මේ වනවිට ශ්‍රීලංකන් ගුවන් සේවය Gustav Mahler Orchestra of Colombo සමග සය වතාවක් අත්වැල් බැඳගෙන තිබේ. ඊට අමතරව ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රාසාංගික කලාවන්ගේ යහපත වෙනුවෙන් තවත් දේශීය සංවිධාන, ආයතන සහ තානාපති කාර්යාල රාශියක් සමග එක්ව කටයුතු කර ඇත.
Video Story