September, 30, 2025
ශ්‍රීලංකන් ගුවන් සේවය UnionPay International සහ ලංකා බැංකුව සමග එක් වී UnionPay ගෙවීම් ක්‍රමය සිය නිල වෙබ් අඩවියට ඇතුළත් කිරීමට පසුගියදා කටයුතු කළේය. මෙමගින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ මාර්ගගත (Online) ගෙවීම් පහසුකම් තවදුරටත් පුළුල් වන අතරම, මේ වන විට වැඩි වැඩියෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය භාවිතා කරමින් සිටින චීන සංචාරකයන්ටද එමගින් වැඩි පහසුවක් අත්වනු ඇත.
මීට පෙර පාරිභෝගිකයන්ට Visa, MasterCard, Amex, Diners, Discover, UATP, Alipay සහ WeChat Pay යන ගෙවීම් ක්‍රම ඔස්සේ ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා ගෙවීම් කිරීමට හැකියාව ලබා දී තිබිණි. මෙම ගෙවීම් ක්‍රම අතරට UnionPay ද එක්වීම මගින් වේගයෙන් වර්ධනය වන ඩිජිටල් සංචාරක වෙළඳපොළ තුළ ශ්‍රීලංකන් ගුවන් සේවය සතු පිළිගැනීම තවදුරටත් ඉහළ යනු නිසැකය.
“ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ලෙස, ගුවන් ප්‍රවේශ පත්‍ර මිලදීගැනීමේ සිට ගුවන් ගමනේ අවසානය දක්වාම මගීන්ට වඩාත් ප්‍රසන්න අත්දැකීමක් ලබාදීමට අප සෑම විටම උත්සාහ කරනවා. UnionPay කාඩ්පත් මගින් ගෙවීම් කිරීම සඳහා අවස්ථාව ලබාදීම යනු මෙහි තවත් එක් වැදගත් පියවරක්. මෙමගින් ජාත්‍යන්තර සංචාරකයන්ට වඩාත් පහසුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට හැකි වේවි.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ වාණිජ ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා පැවසීය.
“අපගේ කාඩ්පත් හිමියන්ට මෙවැනි අවස්ථාවක් ලබාදීම සඳහා ලංකා බැංකුව සහ ශ්‍රීලංකන් ගුවන් සේවය සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය ශ්‍රී ලංකාව තුළ අපගේ සේවාවන් පුළුල් කිරීම සම්බන්ධයෙන් අප අනුගමනය ක්‍රමෝපාය සමග මැනැවින් සමපාත වනවා. මෙමගින් දේශීය UnionPay කාඩ්පත් හිමියන්ටත් ජාත්‍යන්තර සංචාරකයන්ටත් විශාල පහසුවක් අත්වේවි. ප්‍රධාන පෙළේ වෙළඳ හවුල්කරුවෙකු ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය අපගේ කාඩ්පත් නිකුත් කිරීමේ කටයුතුවලට මෙන්ම වෙළඳපොළ තුළ UnionPay ගෙවීම් සේවාව ප්‍රචලිත කිරීම සඳහා සුවිශාල සහයෝගයක් ලබාදෙනවා.” UnionPay International හි ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා දේශීය කළමනාකරු ක්‍රිස්පින් විජේසේකර මහතා පැවසීය.
“ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා UnionPay මගින් ගෙවීම් කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. මෙය ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා අලුත් ගෙවීම් ක්‍රමයක් එක්කරන අතරම ශ්‍රී ලංකාවේ ගෙවීම් යටිතල පහසුකම් තවදුරටත් ශක්තිමත් කරන පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්. මෙවැනි පියවර ඔස්සේ අප උත්සාහ කරන්නේ ඩිජිටල් ගනුදෙනු දිරිගන්වමින් රට තුළ මුදල් භාවිතය අවම ආර්ථිකයක් නිර්මාණය කිරීමටයි.” ලංකා බැංකුවේ වැඩබලන සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරී වයි. ඒ. ජයතිලක මහතා පැවසීය.
මෙම සුවිශේෂී සන්ධිස්ථානය සැමරීමක් වශයෙන් UnionPay කාඩ්පත් හිමියන් සඳහා විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් හඳුන්වා දීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සහ UnionPay මේ වන විට සැලසුම් කරමින් සිටී.
ශ්‍රීලංකන් ගුවන් සේවයේ සේවාවන් සඳහා UnionPay කාඩ්පත් භාවිතා කිරීම පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා https://www.srilankan.com/payops ඔස්සේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න.
Video Story