ශ්‍රීලංකන් ගුවන් සේවය වෙතින් සාමනේර හිමිවරුන් උදෙසා සුවිශේෂී වැඩසටහනක්

    August, 23, 2024

    ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් සී/ස ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමෙහි දායකත්වය සමඟ 2024 සැප්තැම්බර් 01 වන දිනට යෙදෙන  ශ්‍රීලංකන් ගුවන් සේවයේ 45 වන සංවත්සරය නිමිත්තෙන් ඊයේ දින (22) සංවිධානය කළ විශේෂ වැඩසටහනකට කළුතර, දෙල්දූව, වස්කඩුබැද්ද, ගනේවත්ත පුරාණ රජමහා විහාරස්ථානයේ  සාමනේර හිමිවරුන් ඇතුළු සංඝයා වහන්සේලා සහ එම විහාරස්ථානයේ දායක දායිකාවෝ ඇතුලු පිරිසක් සහභාගි වූහ.

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රය වෙත වැඩම කල සංඝයා වන්හන්සේ ඇතුලු  පැමිණි  පිරිස වෙත ශ්‍රීලංකන් ගුවන් සේවයේ හා ගුවන් තොටුපල නිලධාරීන් විසින් භූමි මෙහෙයුම් සිදුකරන ආකාරය පිළිබදව පැහැදිලි කළහ. පසුව ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් එයාර්බස් A320 මාදිලියේ ගුවන් යානයකට වැඩම කල කුඩා සාමනේර හිමිවරුන්ට ගුවන්තොටුපල පරිසරය සහ ගුවන් යානයක් තුල අත්දැකීම් ලබා ගැනීමට හැකි වූහ.

    අනතුරුව ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ විවේකාගාරය (Silk Route Arrival Lounge) වෙත වැඩම කල සංඝයා වහන්සේ සහ සාමනේර හිමිවරුන් උදෙසා දානය පිළිගැන්වීය. පිරිකර සහ සෙසු පූජා භාණ්ඩ ස්වාමින් වහන්සේලා විෂයෙහි  පූජා කිරීම සිදු වූ අතර මෙම අවස්ථාවන් සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාර්යමණ්ඩල සේවකයෝ, ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව සාමාජිකයෝ සහ සී/ස ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) හි ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෝ සහ කාර්යමණ්ඩල සේවකයෝ  සහභාගී විය.