ශ්‍රීලංකන් ගුවන් සේවය 2025 Hybiz TV ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී ‘වසරේ විශිෂ්ටතම ජනතාවගේ ගුවන් සේවය’ ලෙස ඇගයීමට ලක් වේ

    February, 27, 2025

    ඉන්දියාවේ තෙලංගාන ප්‍රාන්තයේ ප්‍රමුඛතම ඩිජිටල් ව්‍යාපාර නාලිකාව වන Hybiz TV විසින් පසුගියදා පවත්වන ලද 2025 ව්‍යාපාර විශිෂ්ටත්වය සම්මාන උළෙලේදී (Hybiz TV Business Excellence Awards 2025) ‘වසරේ විශිෂ්ටතම ජනතාවගේ ගුවන් සේවය’ සම්මානය හිමිකර ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් විය. තෙලංගාන ප්‍රාන්ත රජයේ සහ එම ප්‍රාන්තයේ රාජ්‍ය කර්මාන්ත යටිතල පහසුකම් සංස්ථාවේ සහයෝගය ඇතිව පවත්වන ලද මෙම සම්මාන උළෙලේදී තෙලංගාන ප්‍රාන්තයේ විවිධ ක්ෂේත්‍ර තුළ විශිෂ්ට සාර්ථකත්වයක් පෙන්නුම් කළ සමාගම් හා ආයතන ඇගයීමට ලක්කරන ලදි. ශ්‍රීලංකන් ගුවන් සේවය ඉන්දියාව තුළ සුවිශාල ජනප්‍රියත්වයක් අත්කරගෙන සිටින බව මෙම සම්මානය මගින් නැවතත් තහවුරු වේ.

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉන්දියාව, බංගලාදේශය සහ නේපාලය සඳහා කලාපීය කළමනාකරු ලෙස කටයුතු කරන ෆව්සාන් ෆරීඩ් මහතා පැවසුවේ, මෙම සම්මානය ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් ලැබුණු ඉහළම තලයේ ඇගයීමක් බවයි. මේ වනවිට ශ්‍රීලංකන් ගුවන් සේවය ඉන්දියාව තුළ ක්‍රියාත්මක වන ගුවන් සේවාවන් අතරින් ප්‍රධානතම ගුවන් සේවාවක් ලෙස තම තත්ත්වය තහවුරු කරගනිමින් සිටී. මෙබඳු ඇගයීම් තුළින් ලබන පන්නරය ඔස්සේ තම සේවාවන් තවදුරටත් වැඩිදියුණු කරගනිමින්, ඉන්දියාවේ මගීන්ට වඩාත් විශිෂ්ටතම සේවාවක් ලබාදීම තම අපේක්ෂාව බවද ෆව්සාන් ෆරීඩ් මහතා වැඩිදුරටත් පැවසී ය.

    ශ්‍රීලංකන් ගුවන් සේවය මේ වනවිට ඉන්දියාවේ හයිද්‍රාබාද්, දිල්ලි, බැංගලෝර්, මුම්බායි, කොචි, ත්‍රිවේන්ද්‍රම්, චෙන්නායි, ට්‍රිචි සහ මදුරෙයි යන නගරවල සිට සතියකට ගමන් වාර 90 ක් ක්‍රියාත්මක කරයි. තෙලංගාන ප්‍රාන්තයේ අගනුවර වන හයිද්‍රාබාද් සහ කොළඹ අතර සතියකට ක්‍රියාත්මක වන ගුවන් ගමන් වාර ගණන 4 කි. මේ නිසා එම ප්‍රාන්තයේ මගීන්ට තමන්ට පහසු පරිදි, ශ්‍රීලංකන් ගුවන් සේවයේ සුපුරුදු සත්කාරය සමග ප්‍රණීත ඉන්දියානු ආහාරපාන සහ තෙළිඟු සිනමා නිර්මාණ සිත් සේ රස විඳිමින් දෙරට අතර ගමන් කිරීමට අවස්ථාව හිමි වී තිබේ.

    හයිද්‍රාබාද් නගරයේ HICC Novotel හිදී පැවැත්වුණු මෙම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූයේ තෙලංගාන ප්‍රාන්ත රජයේ තොරතුරු තාක්ෂණ, ඉලෙක්ට්‍රොනික, කර්මාන්ත හා වාණිජ අමාත්‍ය ශ්‍රී ධුද්දිලා ශ්‍රීධර් බාබු මැතිතුමන්ය. එතුමන්ට අමතරව තවත් සම්භාවනීය ආරාධිතයන් පිරිසක්ද එම අවස්ථාවට සහභාගී වූහ. සම්මාන උළෙලේදී විවිධ කාණ්ඩ යටතේ සමාගම්, ආයතන හා පුද්ගලයන් වෙත සම්මාන 60 කට අධික සංඛ්‍යාවක් ප්‍රදානය කරන ලදි.

    මෑතකාලීනව ශ්‍රීලංකන් ගුවන් සේවය ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලැබූ තුන්වැනි අවස්ථාව මෙයයි. මීට පෙර තමිල්නාඩු ප්‍රාන්තයේ රාජ්‍ය සංචාරක සම්මාන උළෙලේදී ‘තමිල්නාඩුවේ විශිෂ්ටතම ගුවන් සේවා හවුල්කරු’ සම්මානය සහ 2024 දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී ‘දකුණු ආසියාවේ ප්‍රධානතම ජාත්‍යන්තර ගුවන් සේවය’ යන සම්මානවලින් පිදුම් ලැබීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් විය. මෙම ජයග්‍රහණ, ඉන්දියාවේ මෙන්ම දකුණු ආසියානු කලාපයේ ප්‍රධාන පෙළේ ගුවන් සේවාවක් බවට පත්වීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් වී ඇති බවට මනා සාක්ෂියකි.

    ඉන්දියාවේ තෙලංගාන ප්‍රාන්තයේ ප්‍රමුඛතම ඩිජිටල් ව්‍යාපාර නාලිකාව වන Hybiz TV විසින් පවත්වන ලද 2025 ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ‘වසරේ විශිෂ්ටතම ජනතාවගේ ගුවන් සේවය’ සම්මානය දිනාගන්නා ලද අවස්ථාව

     

    ඡායාරූපය: ශ්‍රීලංකන් ගුවන් සේවයේ තෙලංගාන සහ ආන්ද්‍රා ප්‍රදේශ් කළමනාකරු ඉෂ්ෆාක් උවායිම් මහතා (දකුණේ සිට සිව්වැනියට) ප්‍රමුඛ ශ්‍රීලංකන් ගුවන් සේවයේ තෙලංගාන සහ ආන්ද්‍රා ප්‍රදේශ් කණ්ඩායම විසින් Hybiz TV 2025 ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී හිමිවුණු සම්මානය පිළිගත් අවස්ථාව