ශ්‍රීලංකන් ජීව විශේෂ ජාවාරම පිටුදැකීමේ ප්‍රයන්තයන් ශක්තිමත් කරයි

    May, 28, 2018

    සතුන් සහ වෘක්ෂලතා  සඳහා ආයතනික ප්‍රතිපත්තිය එළිදැක්වේ

     

    ශ්‍රීලංකන් ගුවන් සමාගම එහි ගෝලීය සංරක්ෂණ ප්‍රයන්තයන් හි මූලික පියවරක් වශයෙන් 2018 මැයි මස 22 වැනිදා  ශ්‍රීලංකන් ගුවන් යානාවන් හි සතුන් සහ ශාක ගුවනේ රැගෙන යාම  සම්බන්ධයෙන් ආයතනික ප්‍රතිපත්තිය දියත් කිරීමට කටයුතු කරන ලදී. එමගින් ජීව විශේෂ ජාවාරම පිටුදැකීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමටද අපේක්ෂිතයි.

     

    ශ්‍රීලංකන්  ගුවන් සමාගමේ  ප්‍රධාන විධායක නිලධාරී කපිතාන්  සුරේන් රත්වත්ත මහතා  ප්‍රකාශ කර සිටියේ  “ජීව විශේෂයන් හි පැවැත්මට උපද්‍රවයක් සිදුකරන හෝ ආචාර විරෝධිව සිදුකරන ක්‍රියාකාරකම් පිටුදැකීම  වෙනුවෙන් මෙම ප්‍රතිපත්ති  ප්‍රකාශය  එළිදැක්වීම  තුළින් ජීව වි‍ශේෂ ජාවාරම්කරුවන්ට විශාල පණිවිඩයක් ලබාදීමට වන් සමාගමට හැකිවනු ඇතැයි” තමන් විශ්වාස කරන බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියේය. ජාතික  ගුවන් සේවය වශයෙන් මෙම ජීව විශේෂ සංරක්ෂණය කිරීම වෙනුවෙන් කැපවන බවත් ගුවන් සමාගමේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරකම් වඩාත් ශක්තිමත් කරන බවට යළි යළිත් ප්‍රතිඥා දෙන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

     

    මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින්  ශ්‍රීලංකන්  ගුවන් සමාගම ජාත්‍යන්තර සංරක්ෂණ ක්‍රියාමාර්ග වන  වනසතුන් දඩයම් කර සත්ව කොටස් ප්‍රවාහනය කිරීම පිටුදැකීම, තර්ජනයට මුහුණුපා ඇති සතුන් වෙළඳාම පිළිබද ජාත්‍යන්තර සම්මුතිය (Convention on International Trade in Endangered Species - CITES) මගින් ලැයිස්තුගත කර ඇති වඳවීයාමේ තර්ජනයට මුහුණුපා ඇති සත්ව විශේෂ හෝ කොටස් ප්‍රවාහනය පිටුදැකීම, මිනිස් නොවන අනෙකුත් ජීවින් පර්යේෂණාගාර හෝ පර්යේෂණාගාර සැපයුම්කරුවන් සඳහා ප්‍රවාහනය අත්හිටුවීම, ජාතික රෙගුලාසි සහ නියාමන අධිකාරි අනුමැතීන් වන නිසි ලියවිලි සහ නිසි ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීමට දැඩි ලෙස කටයුතු කරන බවද දන්වා සිටියි.

     

    ගුවන් සමාගමේ පරිසර හිතකාමී ක්‍රියාමාර්ගයන් හි කැඳවුම්කරු මෙන්ම  මානව සම්පත් අංශ ප්‍රධානි ප්‍රදීප කැකුලාවල මහතා  ප්‍රකාශ කර සිටියේ “සංරක්ෂණය සඳහා වන ගෝලීය ප්‍රවණතා පිළිබද පර්යේෂණ සිදුකරමින් ගුවන් සමාගමේ නව ආයතනික ප්‍රතිපත්ති ප්‍රකාශය සම්පාදනය කළ බවත් පසුගිය දශකය පුරාවට ජාවාරම් කටයුතු පිටුදැකීම වෙනුවෙන් ඉදිරියෙන්ම සිටි ගුවන් සමාගමක් වශයෙන්ද පිළිගැනීමක් ගුවන් සමාගමට හිමිව ඇති බවත්ය”.

     

    මෙම ප්‍රයත්නය ශ්‍රීලංකන් ගුවන් සමාගමේ 2009 සිට පවතින පාරිසර සංරක්ෂණ ප්‍රතිපත්තියේ තවත් එක් අංගයක් වන අතර ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම පාරිසර සංරක්ෂණය පිලිබඳව ගෝලීය ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සංරක්ෂණ පුරෝගාමියෙකු වශයෙන්ද ප්‍රසිද්ධියට පත්ව ඇත (www.srilankan.com/environment). තවද ගුවන් සමාගමේ ‘Flygreen’ වැඩසටහන, ස්වේච්ඡා කාබන් විමෝචන වැඩසටහන සඳහා වන ඉහලම තත්ව සහතික ප්‍රමිතිය වන Quality Assurance Standard (QAS) තත්ව සහතික ලබාගත් ගුවන් සේවා 6 අතරටද පත්ව ඇත.

     

    2009 වසරේ දී ශ්‍රීලංකන් ගුවන් සමාගම “මිහිතල හිතකර ගුවන් ගමන්” යන සංරක්ෂණ සංකල්පය ආසියාවට ප්‍රථම වරට හදුන්වා දුන් ප්‍රථම ගුවන් සේවය වන අතර මෙම සංරක්ෂණ සංකල්පය වෙනුවෙන් ගුවන් සමාගම විසින් විවිධ වැඩසටහන් තම සේවාව මගින් දියත් කර ඇත. ප්‍රධාන ප්‍රයන්තයන් ලෙස  සංරක්ෂණයේ අවශ්‍යතාවයන් පිළිබඳව මහජනා දැනුවත් කිරීම, ගෝලීය සහ පාරිසරික සංවිධාන වන  තල්මසුන් සහ ඩෝලෆින් සංරක්ෂණය (Whale & Dolphin Conservation – WDC UK), පරිසර සංරක්ෂණය පිලිබඳ ජාත්‍යන්තර සංවිධානය (IUCN) හා එක්ව පරිසර හිතකර ප්‍රයන්තයන් ප්‍රවර්ධනය කිරීමද පාසැල් තුළ “පරිසර හිතකර සමාජ” (Green Clubs) පිහිටුවීමද හැඳින්විය හැක. තවද නීතිවිරෝධි ගෝලීය වනජීවි  වෙළඳාම පිටුදැකීමට ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA) මගින් ලොවපුරා දියත් කර ඇති “වනජීවින් වෙනුවෙන් එක්වෙමු” (ʻUnited for Wildlifeʼ) යන වැඩසටහනෙහි අංගයක් වශයෙන්ද මෙම ආයතනික ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම සිදුකර තිබේ.