ශ්‍රීලංකන් ලොකු ආසන වෙන් කරන විදිහේ වෙනසක්

    July, 16, 2024

    ස්වයංක්‍රීය ආකාරයෙන් ඉහළ පෙළ ආසන වෙන් කිරීම සඳහා ලංසු තැබීමේ සේවා සහ ඒ ආශ්‍රිත අනුයාත සේවා සඳහා සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් වර්තමානයේ Plusgrade පද්ධතිය උපයෝගි කරගනු ලබයි.

    ව්‍යාපාරික පංතියේ වෙන් කර නොගත් ආසන පවතින අවස්ථාවේදී පිරිමැසුම් පංතියේ ගුවන් ටිකට්පතක් හිමි මගියෙකුට ව්‍යාපාරික පංතියේ ටිකට්පතක් ලබා ගැනීම සඳහා ලංසු තැබීමේ අවස්ථාව සැලසීම මඟින් ගුවන් සේවාව සඳහා ආදායම් මට්ටම ඉහළ නැංවීම මෙම සේවය ඔස්සේ සිදුවේ.

    මෙම සේවාව පවත්වාගෙන යාම සඳහා ජාත්‍යන්තර තරගකාරී ක්‍රමය යටතේ ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 02ක් ලැබී ඇත. එම ලංසු ඇගයීමෙන් අනතුරුව, තාක්ෂණික ඇගයීම් කමිටුවේ හා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව, සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා ස්වයංක්‍රීය ආකාරයෙන් ඉහළ පෙළ ආසන වෙන් කිරීම සඳහා ලංසු තැබීමේ සේවා සහ ඒ ආශ්‍රිත අනුයාත සේවා කොන්ත්‍රාත්තුව Plusgrade Inc වෙත වසර 05ක කාලසීමාවකට පිරිනැමීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.