ශ්‍රීලංකන් විකිණීම තාවකාලිකව නවතී

    July, 19, 2024

    මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවයේ අයිතිය පැවරීම වෙනුවෙන් මේ වන විට ක්‍රියාත්මකව පැවති ලංසු කැඳවීමේ ක්‍රියාවලිය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ.

    මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය පවසන්නේ, පසුගිය ජූලි 09 දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බවයි.

    මෙම ලංසු කැඳවීමේ ක්‍රියාවලිය වෙනුවට විකල්ප ක්‍රමවේදයක් ඉදිරියේ දී අනුගමනය කිරීමට රජය පියවර ගන්නා බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    මේ අතර මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය විසින්, මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය මිල දී ගැනීම සඳහා කැඳවන ලද අභිලාෂයන් වෙත කැමැත්ත පළ කර ඇති ආයෝජකයින් 6 දෙනෙකුගේ විස්තර පසුගිය අප්‍රේල් 22 දින අනාවරණය කර සිටියේය.

    එලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය මිල දී ගැනීම සඳහා කැමැත්ත පළ කර ඇති පාර්ශව 6 පහත පරිදි වේ.

    1. AirAsia Consulting Sdn. Bhd.

    2. Dharshaan Elite Investment Holding (Pvt) Ltd

    3. FITS Aviation (Private) Limited

    4. Sherisha Technologies Private Limited

    5. Treasure Republic Guardians Limited

    6. Hayleys PLC