ශ්‍රී ලංකාවට පෞද්ගලික ආයෝජන ලබා දෙන රටවල් ලැයිස්තුවේ පස්වන ස්ථානය චීනයට

    August, 9, 2017

    ශ්‍රී ලංකාවට ආධාර සහ ආයෝජන ලබා දෙන ප්‍රධාන රාජ්‍යයක් බවට චීනය පත්ව තිඛෙන බවත් කොළඹ  වරාය නගරය සහ හම්බන්තොට වරාය ආයෝජන වැනි රාජ්‍ය මට්ටමේ විශාල පරිමාණ ආයෝජනයන්ට අමතරව චීන පෞද්ගලික  අංශයේ සමාගම් හරහා මෙරටට ලැඛෙන ආයෝජනද වැඩි වෙමින් පවතින බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිශාඩ් බදියුදීන් මහතා පවසයි.  ලංකාව චීනයේ එක් තීරයක්-එක් මාවතක් (One Belt – One Road) යන සංකල්පයේ ප්‍රධාන සන්ධිස්ථානයක් බවට පත්වී තිඛෙන බවත් අමාත්‍යවරයා පැවසුවේය..

    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පසුගිය දා කොළඹ දී පැවති චීන ශ්‍රී ලංකා ගොඩනැගිලි කර්මාන්ත අයෝජන සැසිය අමතමිනි.  මෙම අවස්ථාවට මෙරට සිටින චීන තානාපති යී සියාන්ලිං (Yi Xianling) මහතාද සහභාගි විය.

    “2016 දී ශ්‍රී ලංකාවට පෞද්ගලික  විදේශ ආයෝජන (FDI) ලබා දුන් ප්‍රධානතම රටවල් 10 ලැයිස්තුවේ පස්වන ස්ථානයේ සිටින්නේ චීනයයි. ඒ වසරේදී ඩොලර් මිලියන 52 ක ආයෝජන චීන සමාගම් විසින් මෙරටට සිදු කරනු ලැබුවා“ යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිශාඩ් බදියුදීන් මහතා මෙහිදී කියා සිටියේය.

    එම සැසිය අමතමින් චීන තානාපති යී සියාන්ලිං මහතා පැවසුවේ පසුගියදා අත්සන් තැබූ හම්බන්තොට වරාය ගිවිසුම පිළිබඳව යම් යම් පාර්ශවයන් වැරදි අදහස් ප්‍රකාශ කර තිඛෙන බවයි. “මෙම ගිවිසුම චීනයේ උපාය මාර්ගික හෝ හමුදා (මිලිටරි ) සැලැස්මක් විය හැකි යැයි යන වැරදි මතයක් ද පළ වෙනවා.  මෙය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. සිදුවුනේ චයිනා මර්චන්ට් සමාගම හා ලංකා වරාය අධිකාරිය අතර සරල වාණිජ ගිවිසුමක් පමණයි. යම් වරායක් ස්ථාපනය කළ පමණින්ම ඉන් රටට ප්‍රතිලාභ ලැබේ යයි සිතීම නිශ්ඵලයි. එය අර්ථවත් වන්නේ ඒ ආශ්‍රිතව  නිෂ්පාදන කර්මාන්ත පුරයක් ස්ථාපිත කිරීම සහ ඒවා එම වරායෙන් නැව්ගත කිරීමෙන්. මින් පෙර අවස්ථාවක මා ගරු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කලේ හම්බන්තොට වරාය ආශ්‍රිතව කර්මාන්ත පුරයක් ස්ථාපනය කරන්නේ නම් එයට චීන රජයේ අනුග්‍රහය ලබා දිය හැකි බවයි. ශ්‍රී ලංකාව හා චීනය අතර ද්විපාර්ශ්වික වෙලෙඳාම 2016 ඇමෙරිකන් ඩොලර් බිලියන 4.2 කි. දැනට දෙරට අතර ද්විපාර්ශ්වීය වෙලෙඳාම සඳහා භාවිතා කරන ඇමෙරිකන් ඩොලරය නොව චීන මුදල් ඒකකය වන යුවාන්  (රෙන්මින්බි) දෙරට අතර සිදු කරනු ලබන වෙලෙඳ හා වාණිජ ගනුදෙනු සහ ආනයන අපනයන වලදී ද යොදාගන්නේ නම් දෙරට අතර වෙලෙඳාම ඩොලර් බිලියන 4.2 ඉක්මවා වර්ධනය කළ හැකියි. එබැවින් ඇමෙරිකානු ඩොලරය නොව චීන යුවාන් මුදල් ඒකකය දෙරට අතර ද්විපාර්ශ්වීය වෙලෙඳාම සඳහා භාවිතා කරන මෙන් මා ශ්‍රී ලංකාවට යෝජනා කරනවා.”

    දැනට ලංකාවෙන් භාණ්ඩ මිළදී නොගන්නා චීන සමාගම් ද මෙවැනි වෙනසකින්  පසු මෙරට භාණ්ඩ මිළදී ගැනීමට ඉදිරිපත් වීමෙන් දෙරට අතර ද්විපාර්ෂ්වීය වෙලෙඳාම සහ ආයෝජන අවස්ථා වල සීග්‍ර වර්ධනයක් සිදුවිය හැකි බවත්, දැනටමත් වියට්නාමය වැනි රටවල් චීනය සමඟ වෙළෙඳ ගනුදෙනු කරන්නේ යුවාන් මගින් බවත් හා එය සාර්ථක වූ බවත් ඔහු අවධාරණය කළේය.