December, 15, 2025
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන්ට හදිසි සහනාධාර යවන ආයතන වලට නොමිලේ ප්‍රවාහන පහසුකම් සැපයීමට එමිරේට්ස් ගුවන් සමාගම ඉදිරිපත් වී ඇත.
ඩුබායි හියුමැනිටේරියන් සංවිධානය එක්ව සිදු කරන මෙම මෙහෙයුම හරහා ඉදිරි සති දෙක තුල එමිරේට්ස් ශ්‍රී ලංකාවට සිය දෛනික මගී ගුවන් ගමන් හරහා ටොන් 100 කට අධික භාණ්ඩ ඉඩක් නොමිලේ ලබා දෙන අතර, ඩුබායි හියුමැනිටේරියන් සහ එහි අනුබද්ධ ආයතන වලට කොළඹට හදිසි සැපයුම් ප්‍රවාහනය කිරීමට හැකි වේ.
දෙසැම්බර් 9 වන අඟහරුවාදා ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පළමු සහනාධාර එකතුව වූ ලෝක ආහාර වැඩසටහනෙන් (WFP) පරිත්‍යාග කරන ලද බිස්කට් තොගය මෙසේ ප්‍රවාහනය කරන ලදි. ඉන්පසු ඩුබායි සහ උතුරු එමිරේට්ස් ප්‍රදේශය සඳහා ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයෙන් ආහාර ද්‍රව්‍ය සහ සහනාධාර තොගයක් සහ ජාත්‍යන්තර රතු කුරුස සහ රතු කුරුස සංගම් සම්මේලනයෙන් (IFRC) ටාර්පෝලින් සහ අනෙකුත් සැපයුම් එමිරේට්ස් විසින් ප්‍රවාහනය කරන ලදි. දරුණු ගංවතුරෙන් පීඩාවට පත් වූ සහ අවතැන් වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවට අත්‍යවශ්‍ය සහන බෙදා හැරීම සඳහා රජය විසින් පිහිටුවන ලද ආපදා කළමනාකරණ ඒකකයකට මෙම භාණ්ඩ යවනු ලැබේ.
එමිරේට්ස් ගුවන් සේවයෙහි සහ සමූහයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ගරු ෂෙයික් අහමඩ් බින් සයීඩ් අල් මක්ටූම් මහතා මෙසේ පැවසීය: “එමිරේට්ස් ශ්‍රී ලංකාව සමඟ ගැඹුරින් සම්බන්ධ වී කැපවී සිටින බැවින්, ඩුබායි හියුමැනිටේරියන් සමඟ සම්බන්ධීකරණයෙන්, දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය සහනාධාර ලබා දීම සඳහා අපි අපගේ යටිතල පහසුකම් සහ මෙහෙයුම් බලමුලු ගන්වා තිබෙනවා. ශ්‍රී ලංකාවට අපගේ දෛනික ගුවන් ගමන් වලදී සහනාධාර සඳහා ගුවන් යානාවල භාණ්ඩ ප්‍රවාහන ධාරිතාව කැප කරනු ඇති අතර, අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා නිතිපතා සහ විශ්වාසදායක ප්‍රවාහයක් සපයනවා. ඩුබායි හියුමැනිටේරියන් ලොව විශාලතම මානුෂීය මධ්‍යස්ථානය වන අතර, හදිසි සැපයුම් ප්‍රවාහනය පහසු කිරීම සඳහා අපි ඔවුන් සමඟ සමීපව කටයුතු කරන්නෙමු.”
ලොව විශාලතම මානුෂීය කටයුතු මධ්‍යස්ථානය ලෙස, ඩුබායි හියුමැනිටේරියන් සහන මෙහෙයුම් විධිමත් කරන අතර, එමිරේට්ස් සමඟ දිගුකාලීන හවුල්කාරිත්වය තුලින්, ගුවන් සේවා ජාලය හරහා වේගයෙන් සහ කාර්යක්ෂමව ක්‍රියාත්මක වීමට හැකි වේ. 2020 දී මෙම හවුල්කාරිත්වය අත්සන් කිරීමෙන් පසු, එමිරේට්ස් සහ ඩුබායි හියුමැනිටේරියන් සහන මෙහෙයුම් කිහිපයක් සඳහා සහයෝගයෙන් කටයුතු කර ඇති අතර, ස්වාභාවික විපත් හෝ වෙනත් අර්බුදවලින් පීඩාවට පත් ප්‍රජාවන්ට ටොන් සිය ගණනක මානුෂීය ආධාර ප්‍රවාහනය කර ඇත.
2023 දී තුර්කියේ සහ සිරියාවේ ඇති වූ විනාශකාරී භූමිකම්පාවලට ප්‍රතිචාර වශයෙන්, එමිරේට්ස් ස්කයිකාගෝ ඉස්තාන්බුල් වෙත සිය දෛනික ගුවන් මෙහෙයුම් වලදී ප්‍රවාහනය කරන ලද ටොන් සිය ගණනක් සහනාධාර භාණ්ඩ සඳහා එමිරේට්ස් ගුවන් සමාගම ඉඩ වෙන් කළේය.
පකිස්ථානයේ ඇති වූ ව්‍යවසනකාරී ගංවතුර තත්ත්වය අතරතුර තීරණාත්මක සහායක් ලබා දෙමින්, පකිස්ථානයට යන එමිරේට්ස් හි සියලුම මගී ගුවන් ගමන් වල භාණ්ඩ ධාරිතාව පරිත්‍යාග කළ අතර, අත්‍යවශ්‍ය උපකරණ සහ සැපයුම්, ආහාර සහ අනෙකුත් හදිසි සහනාධාර භාණ්ඩ සෘජුවම කරච්චි, ඉස්ලාමාබාද්, ලාහෝර්, පෙෂාවර් සහ සියල්කොට් යන ගුවන් තොටුපළ පහට ප්‍රවාහනය කරන ලදි.
