ශ්‍රී ලංකාවේ ඖෂධ අපනයන කර්මාන්තය ගොඩනැගීම සඳහා EDB සහ NIRDC අත්වැල් බැඳගනී

    July, 18, 2025

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) මඟින් පර්යේෂණ සහ සංවර්ධනය (R&D) මගින් ශ්‍රී ලංකාවේ ඖෂධ කර්මාන්තය ශක්තිමත් කිරීමේ ක්‍රියාමාර්ග සෙවීම සඳහා පර්යේෂණ සහ සංවර්ධන වාණිජීකරණය සඳහා ජාතික වැඩපිලිවෙල (National Initiative for R&D Commercialization – NIRDC) සමඟ වැදගත් සංවාදයක් ආරම්භ කරන ලදී. මෙම සාකච්ඡාව පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේදී ඖෂධ කර්මාන්තයේ පෞද්ගලික අංශ නියෝජිතයින්, NIRDC ආයතනයේ නියෝජිතයන් සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ  නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.

    අපනයන සංවර්ධන මණ්ඩලයේ  සභාපති මංගල විජේසිංහ මහතා විසින් සාකච්ඡාව ආරම්භ කරමින් අපනයන ආදායම වැඩිදියුණු කිරීම සඳහා ගත් පියවර පිළිබඳව විස්තර කළ අතර දශක තුනකට පසු නැවත සක්‍රිය කරනු ලැබූ අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩලය (EDCM) පිළිබඳවද සදහන් කළේය. ඔහු වැඩිදුරටත් පැවසූයේ ප්‍රතිපත්ති මට්ටමේ ගැටලු විසදන මෙන්ම ක්ෂේත්‍ර කිහිපයකම ප්‍රවර්ධනය සඳහා මෙම මණ්ඩලය දැනටමත් කටයුතු කරන බවත්ය. පර්යේෂණය සහ සංවර්ධන (R&D) මඟින් ඖෂධ කර්මාන්තය වර්ධනය කිරීමේ වැදගත්කමද ඔහු අවධාරණය කළ අතර පර්යේෂණය සහ සංවර්ධන වාණිජීකරණය කිරීමේ ජාතික වැඩපිලිවෙල (NIRDC) සමඟ සහයෝගීතාවය යනු කර්මාන්තයේ දිගුකාලීන අපනයන වර්ධනය සඳහා සුදුසු කාලීන සහ උපායමාර්ගික පියවරක් බවද සදහන් කළේය.

    ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ (SLPMA) සභාපති නලින් කන්නන්ගර මහතා පෞද්ගලික අංශය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන සමාගම් ඉහළ  තාක්ෂණය භාවිතා කරමින් නිෂ්පාදන වර්ධනය සඳහා සිදුකරන විශාල මූල්‍ය ආයෝජන පිළිබඳව අවධාරණය කළේය. ඔහු පැවසූයේ අනෙකුත් කර්මාන්තයන්ට වඩා ඖෂධ ක්ෂේත්‍රය සඳහා අදාළ මූල්‍ය හා පර්යේෂණ ආයෝජන වැඩි බවත් නිෂ්පාදන නවෝත්පාදනය සඳහා රජයේ පර්යේෂණය සහ සංවර්ධන සහය අවශ්‍ය බවත්ය. විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගේ දැනුම් මට්ටම සහ තාක්ෂණික හැකියාවන් කර්මාන්ත අවශ්‍යතා වලට අනුකූලව වැඩිදියුණු කිරීමටද අවධානය යොමු කළ යුතු බව ඔහු පැවසීය.

    රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPMC) සභාපති මහාචාර්ය ජයන්ත විජයබණ්ඩාර මහතා පැවසූයේ ශ්‍රී ලංකාවේ ඖෂධ කර්මාන්තය මූලික වශයෙන් formulation-based කර්මාන්තයක් වන අතර සක්‍රීය ඖෂධ අන්තර්ගතයන් ඇතුළු ප්‍රධාන අමුද්‍රව්‍ය  ලබා ගැනීම සඳහා විදේශය මත යැපී සිටින බවය. ඔහු මෙවැනි විදේශික අභිලාෂයන් අඩු කිරීම සහ අපනයන අවස්ථා විවෘත කිරීම සඳහා දේශීය වශයෙන් අමුද්‍රව්‍ය නිශ්පාදනය කළ යුතු බව සදහන් කළේය. එම නිසා පර්යේෂණය සහ සංවර්ධන වාණිජීකරණය කිරීමේ ජාතික වැඩපිලිවෙල විසින් එම නිෂ්පාදනය සඳහා වන පර්යේෂණ සහ සංවර්ධන සහයෝගය මත අවධානය යොමු කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

    ජනාධිපතිවරයාගේ විද්‍යා හා තාක්ෂණ පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා පවසා සිටියේ (NIRDC) යටතේ දැනටමත් කර්මාන්තය සහ විශ්වවිද්‍යාල අතර සබඳතා ශක්තිමත් කිරීම, නිෂ්පාදන ප්‍රමිතිකරණය සහ පර්යේෂණ වාණිජකරණය ප්‍රවර්ධනය කිරීමෙහි යෙදී සිටින බවය. ශ්‍රී ලංකාවට වටිනාකමින් යුත් නවෝත්පාදන මගින් නිෂ්පාදන පදනම් වූ ආර්ථිකයක් ගොඩනැඟීම රජයේ මූලික අරමුණ වන බවද ඔහු සදහන් කළේය. ජාත්‍යන්තර වෙළඳපොලවලදී ශ්‍රී ලංකා නිෂ්පාදන සඳහා බුද්ධිමය දේපළ ආරක්ෂාව (IP protection) වඩාත් වැදගත් වන බවද ඔහු අවධාරණය කළේය. එමෙන්ම ජාතික නවෝත්පාදන සහ වාණිජකරණ උත්සාහයන් වර්ධනය කිරීමට පර්යේෂණ සහ සංවර්ධන කළමනාකරණය සඳහා මධ්‍යකේන්ද්‍රිය කළමනාකරණ පද්ධතියක් පිහිටුවීමේ ක්‍රියාමාර්ග ද ගෙන යන බව ඔහු සඳහන් කළේය.

    මෙම සාකච්ඡාව රජය සහ ඖෂධ කර්මාන්තය අතර සහයෝගීතාවය ව්‍යාප්ත කිරීමට මෙන්ම පර්යේෂණ සහ සංවර්ධන සහාය ලබාදිය යුතු ප්‍රමුඛ ක්ෂේත්‍ර හඳුනාගැනීමට වැදගත් පියවරක් විය. ප්‍රතිපත්ති, පර්යේෂණ සහ කර්මාන්තය අතර සංකලනයක් ඇතිකරමින් ශ්‍රී ලංකාවේ නවෝත්පාදන මත පදනම් වූ ශක්තිමත් ඖෂධ අපනයන කර්මාන්තයක් ගොඩනැඟීම සඳහා මෙම සාකච්ඡාව වටිනා පියවරක් විය.