ශ්‍රී ලංකාවේ ගංවතුර ආපදා තත්ත්වය කළමනාකරණය කරගැනීමට VFS Global ආයතනය, ශ්‍රී ලංකාවට සිය සහයෝගය ලබාදෙයි

    December, 11, 2025

    ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක්ම දරුණු ගංවතුර සහ නායයෑම් සම්බන්ධ විපත් වලට මුහුණ දී සිටින අතරවාරයේදී, VFS Global ආයතනය ශ්‍රී ලංකාවේ ජනතාව වෙත තමන් දක්වන සහයෝගීතාවය නැවතත් තහවුරු කර සිටී. VFS ආයතනය ශ්‍රී ලංකාව සමඟ පවත්වන දීර්ඝ කාලීන සම්බන්ධතාවය පිළිබිඹු කරමින්, කඩිනම් සහන සැලසීම් සහ ප්‍රතිසාධන කටයුතු සඳහා සහාය ලබා දීම වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පිහිටුවන ලද රජයේ නිල ගංවතුර සහන අරමුදලට VFS Global දායක වී තිබේ.

    මෙම දායකත්වය මගින්, ආපදාවට ලක් වූවන්ට තාවකාලික නවාතැන් සහ වෛද්‍ය සැපයුම් ඇතුළු අත්‍යවශ්‍ය සම්පත් ලබා දීමට සහාය සැපයෙනු ඇති අතර, ආපදාවෙන් පසු පීඩාවට පත් පවුල් නැවත ගොඩනැංවීමට ද සවියක් ලබාදෙනු ඇත.

    VFS Global ආයතනය 2004 වසරේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන අතර කොළඹ සහ යාපනය පදනම් කරගනිමින් ශ්‍රී ලාංකීය සාමාජිකයන් සමාගමේ සේවයට බඳවා ගෙන තිබේ. සමාගමේ ආයතනික ස්වේච්ඡා වැඩසටහන තුළින් එම  සාමාජිකයන්, ස්වේච්ඡා සේවය සහ පරිත්‍යාග වැඩසටහන් ඔස්සේ ප්‍රජා සංවර්ධන කටයුතු නිරන්තරයෙන් සිදු කරනු ලැබේ. එය තම වටපිටාව තුළ සිටින ප්‍රජාව තුළ අර්ථවත්, තිරසාර බලපෑමක් ඇති කිරීමෙහි ලා ආයතනය දක්වන පුළුල් මෙහෙවර පිළිබිඹු කරයි.

    මේ වන විටද සිදු කෙරෙමින් පවතින සහන සේවාවන්හි කොටසක් ලෙස, පීඩාවට පත් පවුල් සඳහා අත්‍යවශ්‍ය සැපයුම් ලබා දීමට ආයතනයේ සාමාජිකයින් එකට එක්ව සිටී. එය මෙම හදිසි අවස්ථාවේදී VFS Global ආයතනය දක්වන ප්‍රජා කේන්ද්‍රීය සහයෝගය තවදුරටත් සවිබල ගන්වයි.

    VFS Global දකුණු ආසියාව සඳහා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී යුමී තල්වාර් මෙසේ පවසන ලදී. “මේ මොහොතේ අතිමහත් දුෂ්කරතාවයන් අත්විඳින පවුල් සමඟ අපි සිටින්නෙමු. රටේ දීර්ඝ කාලීන හවුල්කරුවෙකු ලෙසට මෙම අභියෝගාත්මක කාලය තුළදී අපි ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ එක්ව සිටගන්නෙමු. අපේ ජනතාවට අපගේ සහාය වඩාත්ම අවශ්‍ය මේ මොහොතේදී දයාවෙන්, සහකම්පනයෙන් සහ සහයෝගීතාවයෙන් යුතුව ප්‍රතිචාර දැක්වීමට අප දක්වන කැපවීම අපගේ මෙම සහාය ලබාදීමේ ප්‍රයත්නයන්ගෙන් පිළිබිඹු වනු ඇත.”

    VFS Global දැනට ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල සේවාදායකයන් 24 කට සහය දක්වන අතර, කිසිදු බාධාවකින් තොරව දේශසීමා තරණය කිරීම සඳහා පහසුකම් සපයමින්, රට පුරා සංචාරකයින්ගේ අවශ්‍යතාවයන්ට සහාය ලබා දීම සිදුකරයි.