ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය සඳහා නෙදර්ලන්තය යුරෝ 730,000ක අතිරේක ප්‍රදානයක්

    September, 11, 2025

    ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ග්‍රාමීය පාලම් සැලසුම් කිරීම සහ ඉදිකිරීමේ ව්‍යාපෘතියට සහාය වීම සඳහා නෙදර්ලන්තය යුරෝ 730,000ක අතිරේක ප්‍රදානයක් අනුමත කර ඇත. මෙම අරමුදල් මඟින් ව්‍යාපෘතියේ අතිරේක මූල්‍ය අවශ්‍යතා සපුරාලනු ඇති අතර, දෙරට අතර දිගුකාලීන සංවර්ධන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරනු ඇත.

    මෙම  ව්‍යාපෘතිය මඟින් ග්‍රාමීය ප්‍රජාවන්ගේ ගමනාගමනය, නාගරික ග්‍රාමීය සම්බන්ධතාවය සහ ජීවන තත්ත්වය වැඩි දියුණු කරමින් ශ්‍රී ලංකාව පුරා ග්‍රාමීය පාලම් 162ක් ඉදිකිරීම අරමුණු කරයි. 2025 සැප්තැම්බර් වන විට, ව්‍යාපෘතිය 96%ක භෞතික ප්‍රගතියක් අත්කර ගෙන ඇති අතර, පාලම් 151ක වැඩකටයුතු දැනටමත් නිම කර ඇත. ව්‍යාපෘතියේ අවසානය සනිටුහන් කරමින්, සැලසුම් කර ඇති සියලුම පාලම්වල ඉදිකිරීම් 2026 පෙබරවාරි වන විට නිම කිරීමට අපේක්ෂා කෙරේ.

    ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී ව්‍යාපෘති පිරිවැයෙන් 75%ක් ආවරණය වන පරිදි ශ්‍රී ලංකා රජය නෙදර්ලන්තයේ Coöperatieve Rabobank U.A. සමඟ යුරෝ මිලියන 41.8ක ණය ගිවිසුමකට එළඹුණි. නෙදර්ලන්ත විදේශ ආයෝජන බැංකුව “Investment International Bank” මූල්‍ය ප්‍රදානයක් හරහා ඉතිරි 25%, එනම් යුරෝ මිලියන 13.9ක, අරමුදලක් සපයන ලදි.

    ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අභියෝග හඳුනා ගනිමින්, නෙදර්ලන්තය 2024 දී එහි ප්‍රදාන දායකත්වය මුළු ව්‍යාපෘති පිරිවැයෙන් ආසන්න වශයෙන් 35% දක්වා වැඩි කළ අතර එය යුරෝ මිලියන 5.3ක පමණ වැඩිවීමකි. මෙම ගැලපීම මඟින් නොගෙවූ ණය ශේෂයෙන් කොටසක් අවලංගු කිරීමට හැකි වූ අතර රටේ ණය බර තවදුරටත් ලිහිල් විය.

    නවතම යුරෝ 730,000ක ප්‍රදානයත් සමඟ, ව්‍යාපෘතිය සඳහා සමස්ත ප්‍රදානය යුරෝ 18,912,335.72ක් වන අතර එය මුළු ව්‍යාපෘති පිරිවැයෙන් 37%ක් පමණ වේ.

    මෙම සහයෝගය අගයමින්, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා, 2025 සැප්තැම්බර් 10 වන දින මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී නෙදර්ලන්තයේ වැඩබලන තානාපති අතිගරු Iwan Rutjens මහතා සමඟ පැවති හමුවකදී නෙදර්ලන්ත රජයට සිය අවංක කෘතඥතාව පළ කළේය.