ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සහ අර්ධ නාගරික ප්‍රදේශයන්හි අධ්‍යාපන තත්ත්වය ගොඩනැඟීම සඳහා සර්වෝදය සංවර්ධන මුල්‍ය ආයතනය විසින් “නැණ දිරිය” ව්‍යාපෘතිය හඳුන්වාදෙයි

    July, 22, 2020

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සහතික කළ බලපත්‍රලාභී මුල්‍ය ආයතනයක් වූ සර්වෝදය සංවර්ධන මුල්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සහ අර්ධ නාගරික ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ලැප්ටොප් ආදී වූ නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු අධ්‍යාපනික උපකරණ සහනදායී මිලකට ලබාගැනීමේ අවස්ථාව උදාකර දී එම ප්‍රදේශයන්හි  අධ්‍යාපනික තත්ත්වය ඉහළ නැංවීම උදෙසා “නැණ දිරිය” නමින් ක්ෂුද්‍ර මුල්‍ය ලීසිං ණය ව්‍යාපෘතියක් හඳුන්වා දෙයි. මෑතක දී මෙම ව්‍යාපෘතියේ සමාරම්භය, සර්වෝදය සංවර්ධන මුල්‍ය ආයතනයේ සභාපති චන්න ඩී සිල්වා මහතා සහ එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී නිලන්ත ජයනෙත්ති මහතා යන දෙපළගේ ප්‍රධානත්වයෙන් කඹුරුපිටිය ශාඛාවේ දී සනිටුහන් විය.

    කොවිඞ්-19 වසංගත ව්‍යාප්තියත් සමඟ මාර්තු මස මැද කාල වකවානුවේ දී දිවයින පුරා පාසල් වසා දමා සියලු සංචරණයන් සීමා කරමින් බලපැවති සමාජ දුරස්ථීකරණ ක්‍රියාවලිය නිසා සමස්ත ශ්‍රී ලාංකික දරුදැරියන්ට පාසල් යාමට සහ අමතර පංති යාමට නොහැකි විය. මේ හේතුවෙන් නතර වුණු අධ්‍යාපන කටයුතු නොනවත්වා දිගටම පවත්වාගෙන යාම අරමුණු කරගෙන සමහර පාසල් අන්තර්ජාලය භාවිතා කරමින් ඔන්ලයින් අධ්‍යාපන ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වී තිබේ. සමස්ත ශ්‍රී ලාංකික සිසු දරුදැරියන් අතරින් නගරබදව වාසය කරන ඉතාම සුළු පිරිසකට පමණක් ඔන්ලයින් ඔස්සේ තම අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා පරිගණක හෝ ලැප්ටොප් පරිගණක උපයෝගී කරගනී. නමුත්, ග්‍රාමීය සහ අර්ධ නාගරික ප්‍රදේශවල විශාල පිරිසක් මුල්‍ය අපහසුතා හේතුවෙන් පෞද්ගලික පරිගණකයන් නොමැතිවීම නිසා සමාන අධ්‍යාපන අවස්ථා හිමිකර ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයන්ට පත්ව සිටී. සියලු දෙනාටම වගකියන ආයතනයක් ලෙස රටේ අඩු පහසුකම් අත්විඳින කණ්ඩායම්වලට නවීන තාක්ෂණයේ සුවපහසුව ලඟාකර දීම සහ දියුණුවීම සඳහා සියල්ලන්ටම සමාන අවස්ථාවන් උදාකරදීමට කැපවීම ඉතා වැදගත් බව අපේ විශ්වාසයයි. සර්වෝදය සංවර්ධන මුල්‍ය ආයතනයට මේ වෙනුවෙන් පියවරක් ඉදිරියට තබමින් තමන්ගේ අධ්‍යාපන කටයුතුවලට ලැප්ටොප් පරිගණකයක් අවශ්‍යකර තිබෙන සිසු දරුදැරියන්ට ඒවා මිලදී ගැනීම සඳහා මුල්‍ය සහයෝගයක් ලබාදීමට “නැණ දිරිය” නමින් ක්ෂුද්‍ර ලීසිං ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදෙනු ලැබීය. තමන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලැප්ටොප් පරිගණකයක් ලබාගැනීමේ අවශ්‍යතාවය ඇති ඕනෑම වයස් කාණ්ඩයක සිටින පාසල් සිසු දරුවෙකුට ඉතාම අඩු පොලී අනුපාතයක් සහිත ණය මුදලක් සහ තවත් ආකර්ෂණීය ප්‍රතිලාභ රැසක් මෙම නැණ දිරිය ණය යෝජනා ක්‍රමය හරහා ලබාගත හැක.

    මේ පිළිබඳ සිය අදහස් දැක්වූ සර්වෝදය සංවර්ධන මුල්‍ය ආයතනයේ සභාපති චන්න ඩී සිල්වා මහතා, “කොවිඞ්-19 වසංගතය නිසා සමස්ත ලෝකයට වගේම අපේ ශ්‍රී ලංකාවටත් ඉතාම අමාරු කාලයකට මුහුණ දෙන්න වුණා. ඒ මොනවා වුනත් අපේ රටේ අනාගතය ඉදිරියට යන්න තියෙන ප්‍රධානතම කාරණයක් තමයි රටේ දරුවන්ට කිසිම බිඳවැටීමක් ඇති වෙන්නෙ නැතුව දිගටම අධ්‍යාපනය පවත්වාගෙන යන්න අවශ්‍ය පහසුකම් ලබාදීම. ඒ වෙනුවෙන් දැන් බොහෝ ආයතන සහ පිරිස් අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරගෙන යනවා. නමුත් සමාජය පුරා පවතින ආර්ථික අසමානතා නිසා ලැප්ටොප් පරිගණක ආදී නවීන තාක්ෂණික උපකරණ තමන් ගාව නැති විශාල සිසු දරුදැරියන් පිරිසක් අපේ රටේ ඉන්නවා. මේනිසා ඒවගේ දරුදැරියන්ට ශක්තියක් වෙන්න, ඔවුන්ගේ අධ්‍යපනයට අතහිත දෙන්න සර්වෝදය සංවර්ධන මුල්‍ය ආයතනය ඉදිරියට ඇවිත් කටයුතු කරන්න කල්පනා කළා. අපි පියවරක් ඉදිරියට තබමින් දරුදැරියන්ට ලැප්ටොප් පරිගණක ලබාගැනීමට නැණ දිරිය නමින් ක්ෂුද්‍ර ලීසිං ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදුන්නා. අපේ නවතම මුල්‍ය සේවා හඳුන්වාදීම නිසා රටපුරා විසිරී සිටින විශාල දරුදැරියන් පිරිසකට නවීන අධ්‍යාපන අවස්ථා උදාවනු ඇතැයි අපි විශ්වාස කරනවා.”

    සර්වෝදය සංවර්ධන මුල්‍ය ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී නිලන්ත ජයනෙත්ති මහතා මෙසේ සිය අදහස් එක් කළේය, “දූදරුවන් තමයි ඕනෑම රටක අනාගතය. දැනට මුළු ලෝකයම වසාගෙන පැතිරී ඇති මෙවන් ව්‍යයසනයක දී පවා දරුවන්ට බිඳවැටීමකින් තොරව තමන්ගේ අධ්‍යාපන කටයුතු නොනවත්වා පවත්වාගෙන යාමට අවශ්‍ය නවීන තාක්ෂණය සපිරි සියලු පහසුකම් සහතික කිරීම වැඩිහිටියන් ලෙස අපේ යුතුකමක්. කාලයක් තිස්සේ අපි දන්නවා අධ්‍යාපනය ඩිජිටල්කරණය වෙමින් යනවා කියලා වගේම මේ වසංගත තත්ත්වය ඉවර වුනත් අධ්‍යාපනය ඩිජිටල්කරණයවීමේ නව ප්‍රවණතාවයන් ඉදිරියට යයි කියලා අපිට විශ්වාසයක් තියනවා. මේ හේතුවෙන්, ග්‍රාමීය සහ අර්ධ නාගරික ප්‍රදේශවල ජීවත්වෙන සිසු දරුදැරියන්ට ලැප්ටොප් පරිගණක ලබාගැනීමේ අවස්ථාව උදාකරන “නැණ දිරිය” ක්ෂුද්‍ර ලීසිං ණය යෝජනා ක්‍රමය මඟින් වසංගත තත්ත්වයෙන් පසු උදාවන අලුත් ජීවිතයට අවශ්‍ය මුල්‍ය සුවපහසුව ලබාදෙනු ඇති. මේ වෙලාවෙ දී මම ඉතාම සතුටින් කියන්න කැමතියි, අපේ මේ නව මුල්‍ය සේවාව හඳුන්වාදුන් අවස්ථාවේ දී පටන් ඉතාම ඉහළ ඉල්ලුමක් මේකට තිබුණා වගේම පාරිභෝගිකයන්ට ඉහළ සේවාවක් සමඟ අවශ්‍ය අරමුදල් ඉතා ඉක්මණින් ලබාදීමට වෙනුවෙන් අපේ සේවක මණ්ඩලය කැපවෙලා වැඩකළා.”

    සර්වෝදය සංවර්ධන මූල්‍ය ආයතනය යනු ශ්‍රී ලංකාවේ විශාලතම සහ වැඩි දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වී ඇති ලාභ නොලබන ආයතනයක් වූ සර්වෝදය ව්‍යාපාරයේ සංවර්ධන මූල්‍ය අංශයයි. වසර 60කට වඩා වැඩි ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකාවේ ඉදිරියෙන්ම සිටින මහජන සංවිධානය ලෙස සර්වෝදය ව්‍යාපාරය තම ගෞරවය ආරක්ෂා කරගැනීමට සමත්වී තිබෙන අතර, දැනට ශ්‍රී ලංකාව පුරා ගම්මාන 5,000ක පමණ සිය සේවා කටයුතු පවත්වාගෙන යයි. දුෂ්කර සහ ග්‍රාමීය ජනතාව බලගැන්ම පදනම් කොටගත් සර්වෝදය ව්‍යාපාරයේ මූලික මූලධර්ම මත ක්‍රියාත්මක වන සර්වෝදය සංවර්ධන මූල්‍ය ආයතනය, වසර 30කට වැඩි කාලයක් ශාඛා 30ක් සහ සේවා මධ්‍යස්ථාන 21ක් පවත්වාගෙන යමින් ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින ග්‍රාමීය ජනතාව වෙනුවෙන් මුල්‍ය සේවා පහසුකම් ලබාදෙයි. සංවර්ධන මුල්‍ය සේවා පවත්වා ගන්නා අතරතුර සර්වෝදය සංවර්ධන මුල්‍ය ආයතනය විසින් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර මුල්‍ය සේවා, ලීසිං සහ වෙනත් අත්‍යවශ්‍ය මුල්‍ය සේවා අංශයන් වෙත ද තම මෙහෙයුම් ව්‍යාප්ත කොට ඇත.

    ඡායාරූපය  (වමේ සිට දකුණට) සර්වෝදය සංවර්ධන මුල්‍ය ආයතනයේ සභාපති චන්න ඩී සිල්වා මහතා, සහ සර්වෝදය සංවර්ධන මුල්‍ය ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී නිලන්ත ජයනෙත්ති මහතා