February, 19, 2026
ශ්‍රී ලංකාවේ වාර්ෂික එළිමහන් කලා මංගල්‍යය වන 'කලාපොළ', 33 වන වරටත් පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙය දෘශ්‍ය කලාව (Visual Art) වෙනුවෙන් මෙරට පවතින පැරණිතම සහ විශාලතම පොදු වේදිකාව බව නැවත වරක් තහවුරු විය.
මහජනතාව සඳහා නොමිලේ විවෘත වූ මෙය කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ (ග්‍රීන් පාත්) හීදී දවස පුරා පැවැත්වුණු අතර, එය කලාකරුවන්, වෘත්තිකයින්, සිසුන් සහ විදේශීය සංචාරකයින් අතර කලාත්මක හා සංස්කෘතික අදහස් හුවමාරු කරගන්නා කේන්ද්‍රස්ථානයක් බවට පත් විය. මෙවර ප්‍රදර්ශනය සඳහා දිවයින පුරා විසිරී සිටින කලාකරුවන් සහ මූර්ති ශිල්පීන් 487 දෙනෙකු සිය නිර්මාණ ඉදිරිපත් කර තිබූ අතර, 13,689කට අධික පිරිසක් එදින ප්‍රදර්ශනය නැරඹීමට පැමිණියහ. ජෝන් කීල්ස් සමූහයේ ස්වේච්ඡා සේවකයින් 257 දෙනෙකු මෙහි සංවිධාන කටයුතු සඳහා සහය වූහ.
1993 වසරේදී ජෝර්ජ් කීට් පදනම මගින් සංකල්පිතව ආරම්භ කරන ලද මෙය 1994 සිට ජෝන් කීල්ස් සමූහයේ අනුග්‍රහය සහ සහයෝගීතාවය ඇතිව පවත්වාගෙන එනු ලබයි. මෙම වැඩසටහනේ මූලික දර්ශනයට අනුව, මෙය කිසිදු තේරීමකට (Uncurated) යටත් නොවන විවෘත වේදිකාවක් වන අතර, එමගින් ප්‍රවීණ මෙන්ම නැගී එන කලාකරුවන්ට ද එකසේ සිය නිර්මාණ ඉදිරිපත් කිරීමටත්, පාරිභෝගිකයින් සමඟ සෘජු සබඳතා ගොඩනගා ගැනීමටත් අවස්ථාව සැලසේ.
මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා සහ කොළඹ නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ. එහිදී ඔවුන් කලාකරුවන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් අතර, රජයේ මැදිහත්වීමෙන් මෙවැනි උත්සව තවදුරටත් සාර්ථක කරගත හැකි ආකාරය පිළිබඳව සංවිධායකයින් සමඟ සාකච්ඡා කළහ.
කලාපොළ 2026 හි නිල උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා සහභාගී වූ අතර, ජෝර්ජ් කීට් පදනමේ භාරකරුවන් සහ ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බලේන්ද්‍ර මහතා ඇතුළු නායකත්වය විසින් ඔහුව පිළිගනු ලැබීය.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ "කලාපොළ දශක තුනකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ සංස්කෘතික භූ දර්ශනයේ කොටසක්ව පවතිනවා. මෙම අවකාශය වසරින් වසර වර්ධනය වී ඇති ආකාරය දැකීම පුදුම සහගතයි. මෙවැනි වැඩසටහන් තනිවම පවතින්නේ නැහැ. ජෝර්ජ් කීට් පදනම සහ ජෝන් කීල්ස් සමූහය වැනි ආයතන සක්‍රීයව සහය දක්වන නිසාත්, කලාකරුවන් අඛණ්ඩව මෙයට සහභාගී වන නිසාත් මෙය පවතිනවා. කලාකරුවන්ගේ වෘත්තීය දියුණුව වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත්රයේ මැදිහත්වීමත්, කලාපොළ වැනි ව්‍යාපෘති සඳහා පෞද්ගලික අංශය දිරිමත් කිරීමත් අත්‍යවශ්‍ය කරුණක්."
ජෝර්ජ් කීට් පදනම වෙනුවෙන් අදහස් දැක්වූ අබ්බාස් එසුෆලි මහතා සඳහන් කළේ, "කලාපොළ සැමවිටම උත්සාහ කළේ ශ්‍රී ලංකාවේ කලාව ප්රජාතන්ත්රීකරණය කිරීමටයි. විවිධ පසුබිම්වල සිටින කලාකරුවන්ට එක්වීමට, ඔවුන්ගේ දක්ෂතා පෙන්වීමට සහ ඇගයීමට ලක්වීමට මෙය අවකාශයක් සලසනවා. අපගේ 33 වන සැමරුම කලාකරුවන් 500කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් සමරන මෙම මොහොතේ, සංස්කෘතික හුවමාරුව පිළිබඳ අපගේ කැපවීම පෙරටත් වඩා ශක්තිමත්. වසර ගණනාවක් පුරා මෙම වැඩසටහන පවත්වාගෙන යාමට ජෝන් කීල්ස් සමූහය ලබාදෙන අඛණ්ඩ අනුග්‍රහය අප කෘතඥපූර්වකව සිහිපත් කරනවා."
ප්‍රධාන ප්‍රදර්ශනයට සමගාමීව, මෙවර ළමුන් 149 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ළමා චිත්‍ර වැඩමුළුවක් ද, ප්‍රගීත් මනෝහංස, ධනුෂ්ක මධුෂාන් සහ පී. පද්මසිරි රණවීර යන ශිල්පීන්ගේ සජීවී කලා නිර්මාණ ඉදිරිපත් කිරීම් ද පැවැත්විණි. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB) මෙහි නිල බැංකු සහකරු ලෙස කටයුතු කරමින් ඩිජිටල් ගෙවීම් පහසුකම් සලසා දී තිබුණි.
මෙවර කලාපොළහි සුවිශේෂී සිදුවීමක් වූයේ "හොඳම නැගී එන කලාකරුවා" වෙනුවෙන් පිරිනමන "දේශමාන්‍ය කෙන් බලේන්ද්‍ර අනුස්මරණ සම්මානය" හඳුන්වා දීමයි. ජෝන් කීල්ස් සමූහයේ හිටපු සභාපති සහ ජෝර්ජ් කීට් පදනමේ භාරකරුවෙකු වූ දිවංගත කෙන් බලේන්ද්‍ර මහතා, මෙම ආයතන දෙක අතර අඛණ්ඩ සහයෝගීතාවය ගොඩනැගීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ පුද්ගලයෙකි. ස්වාධීන විනිශ්චය මණ්ඩලයක තීරණය අනුව, සමාරම්භක සම්මානය මහනුවර ප්‍රදේශයේ පදිංචි, මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරී 26 හැවිරිදි තරුණ කලාකරුවෙකු වන සදරු සෙනෙවිරත්න මහතා වෙත පිරිනැමුණි.
කලාපොළ යනු හුදෙක් ප්‍රදර්ශනයක් පමණක් නොව, එය නිර්මාණකරුවන් සහ ප්‍රේක්ෂකයින් අතර අර්ථවත් සබඳතා ගොඩනගමින් රටේ නිර්මාණශීලී ආර්ථිකයේ වර්ධනයට සෘජුවම දායක වන ශ්‍රී ලංකාවේ සුවිශේෂී සංස්කෘතික සලකුණකි.
වැඩිදුර තොරතුරු සඳහා www.kalapola.lk වෙබ් අඩවියට පිවිසෙන්න.


Video Story