ශ්‍රී ලංකාවේ නව ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (2025–2029) සකස් කිරීම අවසන් අදියරට

    January, 28, 2026

    ශ්‍රී ලංකාවේ වෙළඳ තරඟකාරිත්වය ශක්තිමත් කිරීම සහ අපනයන මූලික කරගත් ආර්ථික වර්ධනයක් ඇති කිරීම අරමුණු කරගත් 2025-2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීමේ අවසන් අදියරේ වැඩමුළු මාලාවක් පසුගියදා සාර්ථකව පවත්වන ලදී

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) එක්ව සංවිධානය කළ මෙම වැඩමුළු මාලාව 2025 ජනවාරි 12 සිට 14 දක්වා පැවැත්විණි. මෙය කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති පාදක වැඩසටහන යටතේ ක්‍රියාත්මක වූවකි.

    ආසියානු සංවර්ධන බැංකුව විසින් ඉදිරිපත් කරන ලද මෙම නව සැලැස්ම ප්‍රධාන උපායමාර්ගික අරමුණු හයක් මත පදනම්ව සකස් කර ඇත ඒ යටතේ යටිතල පහසුකම් සහ ඒකාබද්ධ කේන්ද්‍රස්ථාන මෙහෙයුම්, වෙළඳ පහසුකම් සැලසීම, වෙළඳ මූල්‍ය සහ ආයෝජන, වෙළඳ ප්‍රවර්ධනය සහ වෙළඳපල සම්බන්ධතා, තත්ත්ව කළමනාකරණය සහ ESG (පරිසර, සමාජ සහ පාලනය), නිපුණතා සංවර්ධනය, ව්‍යවසායකත්වය සහ නවෝත්පාදනය අන්තර්ගත වනු ඇත.

    මෙම සැලැස්ම සකස් කිරීමේදී 2018–2022 ජාතික අපනයන උපායමාර්ගයෙන් උගත් පාඩම් සහ වර්තමාන ගෝලීය වෙළඳ ප්‍රවණතා සැලකිල්ලට ගෙන ඇත. මෙහි මූලික පියවරක් ලෙස, 2024 ඔක්තෝබර් 2 සිට 10 දක්වා කාලය තුළ පාර්ශවකරුවන් සමඟ පුළුල් ලෙස සාකච්ඡා පවත්වා ඇති අතර, එහිදී ප්‍රමුඛතා අංශ තෝරා ගැනීම සහ වෙළඳ පද්ධතියේ පවතින බාධා ඉවත් කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇත.

    අදාළ අමාත්‍යාංශ සහ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම වැඩමුළු, ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ ඉදිරි වර්ධනය සඳහා මග පෙන්වන තීරණාත්මක පියවරක් වනු ඇත