March, 24, 2026
ශ්‍රී ලංකාවේ පාසල්වල තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය සහ අධ්‍යාපනය සඳහා තොරතුරු තාක්ෂණය භාවිතය විධිමත් කිරීමේ අරමුණින් ‘ද්විතීයික අධ්‍යාපනය සඳහා තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථාන ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය’ කොරියානු EXIM බැංකුව යටතේ වන ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල විසින් සපයනු ලබන ණය මුදලක් සහ ශ්‍රී ලංකා රජයේ අරමුදල් මඟින් ක්‍රියාත්මක කිරීම සඳහා 2018-06-05 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
එම ව්‍යාපෘතිය යටතේ ජාතික මට්ටමේ ඉ‑ඉගෙනුම් මධ්‍යස්ථානයක් සහ දකුණු පළාත සහ නැගෙනහිර පළාත සඳහා පළාත් තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන දෙකක් ඉදි කිරීමට සැලසුම් කර ඇත.
එමෙන්ම, සාමාන්‍ය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන යන අංශ 03ම ආවරණය වන අයුරින් විධිමත් ඉ‑ඉගෙනුම් ක්‍රමවේදයක් හඳුන්වා දීම පිණිස ඉ‑ඉගෙනුම් වැඩපිළිවෙලක් නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් අපේක්ෂා කරනු ලබයි.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2019 නොවැම්බර් මාසයේදී අදාළ ගිවිසුම්වලට එළඹ ඇති නමුත්, සැලසුම් කළ පරිදි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හැකි වී නොමැත. සමස්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් විසින් නැවත සමාලෝචනයක් සිදු කර ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව එම ව්‍යාපෘතිය නැවත ආරම්භ කර ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story