ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය ජාත්‍යන්තර තත්වයට පත් කිරීම වෙනුවෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය ආරම්භ කරයි

    August, 30, 2024

    මෙරට පොල් කර්මාන්තයේ තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පසුගියදා ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය (CCCI)  ආරම්භ කරනු ලැබීය. පසුගිය 29 වන දා එහි සමාරම්භක රැස්වීම ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේදී පවත්වනු ලැබූ අතර ඊට පොල් කර්මාන්තය නියෝජනය කරමින් විවිධ පාර්ශවකරුවන් එක්ව සිටියේය. එහිදී විශේෂයෙන් තිරසාර වර්ධනය, නවෝත්පාදනය හා ගෝලීය වෙළෙඳපොල වෙත පිවීසීම වෙනුවෙන් සංවිධානයේ වැදගත්කම අවධාරණය කරන ලදී.

    ශ්‍රී ලංකා පොල් කර්මාන්තයේ උනන්තිය වෙනුවෙන් ආරම්භ කළ මේ ආකාරයේ පළමු ආයතනය වන ජාතික පොල් කර්මාන්ත මණ්ඩලය කර්මාන්තය සතු හැකියාවන් වැඩි වැඩියෙන් ප්‍රයෝජනයට ගැනීමට අරුමුණු කොට ඇත. මෙරට කර්මාන්ත ආර්ථිකය සඳහා සැලකිය යුතු දායකත්වයක් දක්වන පොල් කර්මාන්තය ඇමරිකානු ඩොලර් මිලියන 800ක අපනයන ආදායමක් උපයා දෙනු ලබයි. එය තවදුරටත් ඉහළ නංවමින් ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක අපනයන ආදායම් ඉලක්කයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදනයන්ගේ ගුණාත්මකභාවය හා ගෝලීය තරඟකාරීත්වය ඉහළ නැංවීමට බලාපොරොත්තු වේ.

    යුරෝපීය සංගමයේ අරමුදල් සහිත BESPA-FOOD ව්‍යාපෘතියේ හා Ernst & Young හි වැඩපිළිවෙල සමඟ එක්වෙමින් එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) විසින් මෙම ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය පිහිටුවීමට පහසුකම් සපයනු ලබන අතර එම සහයෝගීතාව මෙරට පොල් කර්මාන්තය වෙනුවෙන් සශ්‍රීක හෙට දවසක් උදා කිරීමට කටයුතු කරනු ඇත.

    මෙහිදී අදහස් දැක්වූ Ernst & Young හි ජ්‍යෙෂ්ඨ සාමාජික හා ලංකා පොල් කර්මාන්ත මණ්ඩලයේ අභිනව මහ ලේකම් රනිල් ද සේරම් මහතා “ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය පිහිටුවීම තුළින් ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තයට දියුණු හෙට දවසක් උදා කර දීමට හැකි වනවා. මෙහිදී කර්මාන්තය ඒකාබද්ධ කිරීම, නවෝත්පාදන නිෂ්පාදන හා සේවාවන් ක්‍රියාත්මක කිරීම හා තිරසාර වර්ධනයට හේතු වන ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටීමට අපි කටයුතු කරනවා. පොල් කර්මාන්තයේ සාමූහික ප්‍රයත්නයක් වන ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය විශිෂ්ටත්වය හඹා යාම වෙනුවෙන් සියලු පාර්ශවයන් අප සමඟ එක්වනු ඇතැයි අප විශ්වාස කරනවා.” යනුවෙන් පැවසුවේය.

    ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථිකයට ශක්තියක් එක් කරන සුවිසල් සාධකයක් ලෙස බොහෝ දෙනා අතර ප්‍රසිද්ධියට පත්ව ඇති පොල් කර්මාන්තය දළ වශයෙන් මෙරට හෙක්ටයාර් 455,000ක භූමි ප්‍රමාණයක ව්‍යාප්තව ඇත්තේ මිලියනයකට අධික පිරිසක් වෙත ජීවනෝපාය සැලසීමට සමත්ව සිටියි. ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය විසින් උපාය මාර්ගික සැලසුම්කරණය, වෙළෙඳපොල ව්‍යාප්තිය හා පර්යේෂණ මත පදනම් වූ නවෝත්පාදනයන් තුළින් පොල් කර්මාන්තයේ තරඟකාරී බව වර්ධනය කිරීම පිළිඳව අවධානය යොමු කරනු ඇත. එසේම තිරසාර භාවිතයන් ප්‍රවර්ධනය කිරීම හා විවිධ නිපැයුම් සඳහා සහාය දීම තුළින් ශ්‍රී ලංකාව පොල් නිෂ්පාදනයේ ගෝලීය ප්‍රමුඛයා බවට පත් කිරීම මෙම කර්මාන්ත මණ්ඩලයේ අරමුණයි.

    මෙහිදී අදහස් දැක්වූ UNIDO හි ජ්‍යෙෂ්ඨ ජාත්‍යන්තර තාක්ෂණික විශේෂඥ ආචාර්ය Jairo Villamil Diaz පවසා සිටියේ “ශ්‍රී ලාංකේය පොල් කර්මාන්තය සතු හැකියාවන් ලොවට ගෙන යාමේ සුවිශේෂී පියවරක් ලෙස මෙම ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය හඳුන්වා දිය හැකියි. යුරෝපා සංගමය විසින් අරමුදල් සම්පාදනය කරන BESPA-FOOD ව්‍යාපෘතිය හරහා ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය ආරම්භ කිරීමට සහාය දැක්වීම පිළිබඳව අපි ඉතා සතුටට පත් වනවා. මේ තුළින් පොල් කර්මාන්තය, හෙට දවසේ ශ්‍රී ලංකාවේ සුවිශේෂී අංශයක් බවට පත් කිරීමට අරමුණු කොට ගෙන ඇති අප ඒ සමඟ එක්ව සිටින සියලු පාර්ශවකරුවන්ගේ ජීවිත හා ආර්ථික ශක්තිය ඉහළ නැංවීමට කටයුතු කරනවා.” යනුවෙනි.

    මේ වන විට ප්‍රධාන කර්මාන්ත සංගම්හි සහයෝගය ලබා ගැනීමට කටයුතු කර ඇති ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය සමඟ මෙරට පොල් කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවී කටයුතු කරන ආරම්භක සාමාජිකයින් 8 දෙනෙකු එක්ව සිටියි. ඊට ශ්‍රී ලංකා පොල් වගාකරුවන්ගේ සංගමය, පොල් ආශ්‍රිත නිෂ්පාදන අනයනකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා පිරිසිදු පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය, පොල් නිෂ්පාදන නිෂ්පාදකයින්ගේ හා අපනයනකරුවන්ගේ සංගමය, ලංකා වියළන ලද පොල් නිෂ්පාදකයින්ගේ සංගමය, ලංකා කොහු කෙඳි නිෂ්පාදකයින්ගේ සංගමය, පොල් කිරි නිෂ්පාදකයින්ගේ සංගමය සහ සමස්ත ලංකා පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය ඇතුළත් වේ. මේ සියලු ආයතනය ඒවායෙහි ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටීම හා ශ්‍රී ලංකාවේ පොල් වගාවේ දිගුකාලීන තිරසරභාවය සහතික කිරීම වෙනුවෙන් කටයුතු කරනු ලබයි.

    තවද මෙම පොල් කර්මාන්ත මණ්ඩලය සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, පොල් සංවර්ධන අධිකාරිය, පොල් වගා කිරීමේ මණ්ඩලය සහ පොල් පර්යේෂණ ආයතනය ඇතුළු රාජ්‍ය අංශයේ ප්‍රධාන හවුල්කරුවන් රැසකගේද සහාය හිමි වන අතර ඒ තුළින් ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය දියුණුවට පත් කිරීමේ සහයෝගී ප්‍රයත්නයක් ප්‍රදර්ශනයක කිරීමට සමත්ව ඇත.

    එසේම අනාගතයේදී මෙරට ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් කැපවන සියලු පාර්ශවයන්ගේ ජීවනෝපාය ඉහළ නැංවීමට සමත් ශක්තිමත් හා තිරසාර පොල් කර්මාන්තයක් ඇති කිරීමට බලාපොරොත්තු වන පොල් කර්මාන්ත මණ්ඩලය ඒ වෙනුවෙන් තිරසාර නිෂ්පාදන ක්‍රම ප්‍රවර්ධනය, නිෂ්පාදන සංවර්ධනය සඳහා නව්‍යකරණය මෙහෙයවීම හා ගෝලීය වශයෙන් අලුත් වෙළෙඳපොල සොයා යාම සඳහා කැපවී කටයුතු කරනු ඇත.

    මෙම පොල් කර්මාන්ත මණ්ඩලයේ මූලික කටයුතු ලෙස වසර 10ක උපාය මාර්ගික සැලසුමක් ඉදිරිපත් කිරීම, සහයෝගී ජාතික ප්‍රතිඵත්තියක් වෙනුවෙන් පෙනී සිටීම හා කර්මාන්තයේ දිගු කාලීන සාර්ථකත්වය සහතික කිරීම වෙනුවෙන් පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා සහයෝගය ලබා දීම වැනි කරුණු ඇතුළත් වේ. එසේම ගෝලීය පොල් කර්මාන්තයේ ප්‍රමුඛයා ලෙස ශ්‍රී ලංකාව පත් කිරීම වෙනුවෙන් තිරසාරභාවය, අගය එකතු කිරීම හා නව තාක්ෂණය භාවිතය පිළිබඳවද පොල් කර්මාන්ත මණ්ඩලයේ අවධානය යොමු තිබේ.