ශ්‍රී ලංකාවේ මධ්‍ය කාලීන වර්ධනය සතුටුදායකයි – ADB වාර්තාවක් කියයි

    November, 21, 2016

    මෙරට මධ්‍ය කාලීන වර්ධනය තවදුරටත් සතුටුදායක මට්ටමක පවතින බව ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ස්වාධීන ඇගයීම් කමිටුවේ අධ්‍යක්ෂ ජනරාල් මර්වින් ටේලර් පවසයි. 2015 වසරෙන් අවසන් දස වසරක කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාව වෙත ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා දෙන ලද ඇමරිකානු ඩොලර් බිලියන 5.5 ක ණය ආධාර අරමුදල් භාවිතය සම්බන්ධයෙන් ස්වාධීන ඇගයුම් වාර්තාවක් නිකුත් කරමින් ආසියානු සංවර්ධන බැංකුව මෙසේ කියා සිටී.

    මෙම වාර්තාව තුළින් වැඩිදුරටත් කියා සිටින්නේ ආසියානු සංවර්ධන බැංකුවේ මෙම වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ඌන සංවර්ධිත කලාප සහ පසුගිය යුධමය සමයේ දී බලපෑමට ලක් වූ ප්‍රදේශවල යටිතල් පහසුකම් සංවර්ධනයට මෙමඟින් දායකත්වය ලබා දී ඇති බවයි.

    කෙසේ වෙතත් මෙම අධ්‍යයනය තුළ ආසියානු සංවර්ධන බැංකුව වැඩිදුරටත් කියා සිටින්නේ ශ්‍රී ලංකා රජය මුහුණ පා සිටින රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමේ අර්බුදය, විශාල ප්‍රතිපත්තිමය අභියෝගයක් බවයි. රාජ්‍ය ආදායම අඩුවීම තුළ විශාල වශයෙන් ණය ගැනීම කෙරෙහි යොමු වීම මත ආර්ථික වර්ධනයට උපකාරීවන මහජන සේවා ව්‍යාප්ත කිරීම හීන වීමට බලපා තිබෙන බව මෙහි වැඩිදුරටත් කියැවේ.

    මේ අතර පසුගිය ඔක්තෝබර් මාසයේ දී ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ණය මුදලක් මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධනය කිරීමේ අරමුණින් අනුමත කර ඇත.