ශ්‍රී ලංකාවේ ලොකුම අල්ලස ගනිද්දී රේගු නිළධාරීන් තිදෙනෙකු කොටුවේ

    October, 15, 2015

    ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තාවූ ඉහළම අල්ලස් මුදල ලෙස සැලකෙන රු. මිලියන 125 ක අල්ලසක් ලබාගත් බව කියන රේගු නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රේගු අධිකාරී සුජීව පරාක්‍රම ජිනදාස, නි‍යෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක, සහකාර රේගු අධිකාරී එම්.ඩී.යූ.ජී පෙරේරා යන අය බව සඳහන්ය.

    විදෙස් සමාගමකින් ලංකා ගමනා ගමන මණ්ඩලයට ගෙන්වන ලද අමතර කොටස් තොගයක් මුදාහැරීමට පසු විගණනයකින් ඉක්බිතිව රු.මිලියන 1500 ක මුදලක් ගෙවිය යුතු බවට මෙම රේගු නිලධාරීන් විසින් අදාළ සමාගමේ නියෝජිතයින්ට දැනුම්දී තිබේ.

    එහෙත් එවැනි මුදලක් නීත්‍යනුකූලව ගෙවීමට නොමැති බව සමාගම් නියෝජිතයින් විසින් දැනුම්දුන් පසු අමතර කොටස් මුදාහැරීමට අල්ලසක් ලෙස රු.මිලියන 150 ක් ඉල්ලා ඇති බව කියැවෙයි.

    ඉන්පසු එම නියෝජිතයින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමග සාකච්ඡා කොට එකී මුදලද රු.මිලියන 125 ක් දක්වා අඩුකරගෙන ඇති බවත්, ඒ අනුව අද (15) කොළඹ ස්ථානයකදී එම මුදල ලබාදීමට යයි හඟවා අල්ලස් කොමිසමේ නිලධාරීන් කැටුව ගොස් මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බව අල්ලස් කොමිසමේ ප්‍රකාශකයෙක් සඳහන් ක‍ළේය.

    Video Story

    Stock Market

    Exchange Rates