ශ්‍රී ලංකාවේ විශාලතම ඇඟලුම් යන්ත්‍රෝපකරණ ප්‍රදර්ශනය වන AISEX 2016 සමඟින් JAAF සහ SLAI එක්වේ

    February, 24, 2016

    ඇඟලුම් කර්මාන්ත සැපයුම්කරුවන්ගෙන් ප්‍රදර්ශනය (Apparel Industry Suppliers Exhibition – AISEX), ක්ෂේත්‍රයේ සියළුම සැපයුම් සහ සේවා ආයතන එකම වහලක් යටට ගෙන එන දැවැන්ත ප්‍රදර්ශනයකි. ඇඟලුම් යන්ත්‍ර, අමතර කොටස්, අනෙකුත් උපකරණ සහ විශාල පරාසයක සේවා ප්‍රමාණයක් මෙම ප්‍රදර්ශනයේදී දැක ගත හැක.

    2016 ජූනි මස 10 දින සිට 12 දින දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්වීමට නියමිත AISEX 2016 ප්‍රදර්ශනය, සී/ස ලංකා එක්සිබිෂන් ඇන්ඩ් කන්ෆරන්ස් සර්විසස් (Lanka Exhibition & Conference Services (Pvt.) Ltd. – LECS) මඟින්, ශ්‍රී ලංකා ඇඟලුම් ආයතනයේ (Sri Lanka Apparel Institute - SLAI) සහ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසඳයේ (Joint Apparel Association Forum - JAAF) සහයෝගය සහිතව සංවිධානය කෙරේ.

    ඇඟලුම් ක්ෂේත්‍රයේ නිෂ්පාදකයින් තුළ තාක්‍ෂණික නවෝත්පාදනය සඳහා පවතින උනන්දුව වැඩිකිරීම සහ අනාගතයට සරිලන ලෙස කර්මාන්තය ගොඩනැඟීම සඳහා අවශ්‍ය දෑ සම්පාදනය කරලීම, AISEXහි අරමුණු වේ. කාර්යක්‍ෂමතාව සාර්ථකත්වයේ ප්‍රධානතම සාධකයක් වන ඇඟලුම් කර්මාන්තයේදී, නවෝත්පාදනය සහ නව නිපැයුම් ඉතා වැදගත්ය. සැපයුම්කරුවන්ට, සිය නවතම භාණ්ඩ හා සේවා ඇඟලුම් නිෂ්පාදකයන් වෙත ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබාදෙන AISEX, ඔවුනොවුන් අතර ගෝලීය සබඳතා වර්ධනය කරගැනීමටද කදිම අවස්ථාවකි.

    ශ්‍රී ලංකාවට ආසන්නයේ, දකුණු ආසියානු කලාපය තුළ නව ව්‍යාපාර අවස්ථා උදාකර දීමද, මෙම ප්‍රදර්ශනයෙන් සිදුවේ. යුරෝපා සංගමයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් නොව කලාපීය වෙළෙඳපලවලද, සුවිශේෂී ව්‍යාපාර අවස්ථා ක්‍රමක්‍රමයෙන් ඇතිවෙමින් පවතින අතර, මේ මඟින් ඉන්දියාව වැනි සීඝ්‍රයෙන් දියුණු වන කලාපීය වෙළෙඳපල ඉලක්ක කරගැනීමට මෙරට වෙළෙඳ නාමයන්ට අවස්ථාව උදාවේ.

    වසර 7ක විරාමයකින් පසු නැවතත් AISEX පැවැත්වීමට සංවිධායකයින් තීරණය කරන ලද්දේ, මෑතදී දිවයිනට පැමිණි යුරෝපීය දූත පිරිස සහ GSP+ සහනය නැවත ලබාගැනීම සඳහා ඇති සුබදායක වාතාවරණය සැලකිල්ලට ගනිමිනි. ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන ශ්‍රී ලංකා ඇඟලුම් ක්ෂේත්‍රයද, ආචාර ධර්ම පිළිපදිමින්, හොඳම පිළිවෙත් අනුගමනය කරන කර්මාන්තයක් ලෙස ඉහළ පිළිගැනීමක් ලබා ඇත.