ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා Skydiving මෙහෙයුම් ප්‍රවර්ධනය පිළිබඳ සාකච්ඡාවක්

    February, 6, 2026

    ශ්‍රී ලංකාව තුළ නිදහස් ආර පැරෂුට් පැනීමේ (Skydiving) මෙහෙයුම් හඳුන්වාදීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක්, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.

    මෙහිදී 'Skydive Sri Lanka' ආයතනයේ නියෝජිතයින් විසින් නිදහස් ආර පැරෂුට් පැනීමේ ක්‍රීඩාව හඳුන්වා දෙමින්, එය සුවිශේෂී වික්‍රමාන්විත සංචාරක අංගයක් (Adventure tourism) ලෙස සංවර්ධනය කිරීමේ හැකියාව පිළිබඳව සහ යෝජිත මෙහෙයුම් අංශ පිළිබඳව සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදුකරන ලදි.

    ශ්‍රී ලංකාව තුළ නව සංචාරක ආකර්ෂණයක් ලෙස මෙය දියුණු කිරීමේ ඇති අවස්ථා සහ මෙරට සංචාරක ක්ෂේත්‍රයට ඉන් ලැබිය හැකි දායකත්වය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

    මෙහිදී අදහස් දැක්වූ ආරක්‍ෂක ලේකම්වරයා මෙම ක්‍රියාකාරකම් මෙරට තුළ ප්‍රවර්ධනය කිරීමේදී ඇතිවිය හැකි බාධාවන් සහ අභියෝග හඳුනාගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.

    ඒ අනුව, මෙයට අදාළ නියාමනයන්, ආරක්‍ෂක ක්‍රියාමාර්ග, මෙහෙයුම් ක්‍රියාවලිය සහ අනෙකුත් කරුණු සමීපව පරීක්‍ෂා කරන ලෙසත්, ශ්‍රී ලංකාවට මෙය හඳුන්වා දීමේ සමස්ත ශක්‍යතාව තක්සේරු කරන ලෙසත් ඔහු අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එමෙන්ම, මේ සම්බන්ධයෙන් කරුණු සමාලෝචනය කොට ඉදිරියේ දී වැඩිදුර සාකච්ඡාවට ගැනීමට ද ඔහු යෝජනා කළේය.

    මෙම අවස්ථාවට සිවිල් ගුවන් සේවා අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, විදේශ කටයුතු අමාත්‍යාංශය, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම 'Skydive Sri Lanka' ආයතනයේ නියෝජිතයන් පිරිසක් එක්ව සිටියහ.

    Video Story

    Stock Market

    Exchange Rates