ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට නව පරිච්ඡේදයක් එක් කරන SLMICE Expo 2025 සැප්තැම්බර් 22 සිට 26 දක්වා කොළඹදී

    July, 24, 2025

    ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය මගින් සංවිධාන කරනු ලබන  SL-MICE Expo 2025 ප්‍රදර්ශනය ලබන  සැප්තැම්බර් මස 22 සිට 26 දක්වා කොළඹ කේන්ද්‍ර කරමින් පැවැත්වීමට නියමිතය.

    දේශීය හා ජාත්‍යන්තර MICE සංචාරක ව්‍යාපාරයට සිය නිෂ්පාදන, සේවා සහ නවෝත්පාදන ප්‍රදර්ශනය කිරීම සඳහා මෙම  ප්‍රමුඛතම ප්‍රදර්ශනය තුලින් සුවිශේෂී වේදිකාවක් සපයා දීම ශ්‍රී ලංකාව ගෝලීය MICE  සංචාරක ව්‍යාපාරය තුළ ප්‍රමුඛ ගමනාන්තයක් ලෙස ඉහළ නැංවීම සඳහා ඉවහල් වනු ඇත. ලොව පුරා විසිරී සිටින වෘත්තිකයන් අතර ව්‍යාපාර වර්ධනය, ජාලගත වීම සහ සහයෝගීතාව සඳහා මෙම SL-MICE Expo 2025 ප්‍රදර්ශනය ක්‍රියාශීලී වෙළෙඳපොළක් වනු ඇත.

    දින 5ක් පුරා පැවැත්වෙන SL-MICE Expo 2025 ප්‍රදර්ශනයේ කැපී පෙනෙන අවස්ථාවන් අතර, පරිපූර්ණ සමාරම්භක උත්සවයක්, සුවිශේෂී ව්‍යාපාර සංසදයක් සහ ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට සංකල්පය යටතේ රැස්වීම් (B2B meetings) ඇතුළත් වන අතර, සංචාරක ව්‍යාපාරයේ සබඳතා වර්ධනය කරගැනීමට අවස්ථාව ලබාදෙමින් ව්‍යාපාර හා විනෝදය ඒකාබද්ධ කළ Bleisure ආකාරයේ උත්සවශ්‍රීයෙන් යුතු රාත්‍රී භෝජන සංග්‍රහයක් ද, ශ්‍රී ලංකාවේ සමෘද්ධිමත් සංස්කෘතික හා ස්වභාවික උරුමයන් විදහා දැක්වීම සඳහා මහනුවර සහ නුවරඑළිය දර්ශනීය ප්‍රදේශවල සුවිශේෂී චාරිකාවක් ද ඊට ඇතුළත් කර තිබේ.

    රැස්වීම්, දිරිගැන්වීම්, සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන කේන්ද්‍ර කරගත් MICE සංචාරක ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තුළ  ආර්ථික වර්ධනයට දායක වන ප්‍රමුඛ ක්ෂේත්‍රයක් ලෙස රජය හඳුනාගෙන සිටින බව මෙම ප්‍රදර්ශනය සම්බන්ධව අදහස් දක්වමින් සංචාරක නියෝජ්‍ය ඇමැති මහාචාර්ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කළ අතර, විදේශීය MICE ගැනුම්කරුවන්ට සහ මාධ්‍ය නියෝජිතයන්ට මෙරට මධ්‍යම කලාපයේ සංචාරය කිරීමට අවස්ථාව ලබාදීමෙන් එම කලාපයේ MICE අවස්ථාවන් සඳහා SLMICE Expo 2025 හි අවධානය යොමු කිරිම ඇගැයීමට ලක් කළේය.

    ඉන්දියාව, චීනය, පාකිස්තානය, ජර්මනිය, රුසියාව, ප්‍රංශය, බ්‍රිතාන්‍යය, තුර්කිය, ස්පාඤ්ඤය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, බංග්ලාදේශය, කටාර් රාජ්‍යය, මැලේසියාව හා සිංගප්පූරුව ඇතුළු රටවල ජාත්‍යන්තර වෙළෙඳපොලේ MICE ගැනුම්කරුවන්ට සහ මාධ්‍ය නියෝජිතයන්ට  මෙම කීර්තිමත් අවස්ථාවට එක්වන ලෙස ඇරියුම් කළ බව ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ සභාපති ධීර හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය. රටවල් 25කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන ගැනුම්කරුවන් හා මාධ්‍ය නියෝජිතයන්ගෙන් අයැදුම්පත් 400කට අධික ප්‍රමාණයක් ලැබී ඇති අතර, ඉන් ගැනුම්කරුවන් 100ක් සහ මාධ්‍ය නියෝජිතයන් 15ක් තෝරා ගනු ලැබේ.

    ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය (SLCB) යනු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වන අතර, එය මෙරට MICE කර්මාන්ත ක්ෂේත්‍රයෙහි සංවර්ධනය හා ප්‍රවර්ධනය සඳහා කැපවූ ජාතික සංචාරක සංවිධානයකි. ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය මගින් වසර 2021 සිට  මේ දක්වා MICE Expo ප්‍රදර්ශන 4ක් සාර්ථකව පවත්වා ඇති අතර, MICE ශ්‍රී ලංකාව ප්‍රමුඛ ගමනාන්තයක් බවට පත්වීමට එම ප්‍රදර්ශන බෙහෙවින් ඉවහල් වී තිබේ.