ශ්‍රී ලංකාවේ සමුපකාර ව්‍යාපාරයේ ඉදිරි ගමන් මග පිළිබඳව ජනාධිපතිවරයගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

    August, 16, 2024

    මෙරට සමුපකාර ව්‍යාපාරයේ ඉදිරි ගමන් මග පිළිබඳව සාකච්ඡා කිරීමේ විශේෂ රැස්වීමක් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ජාතික සමුපකාරය විසින් ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. සණස සමූහය නියෝජනය කරමින් මේ සදහා සණස සමූහයේ නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා ඇතුළු සණස නිලධාරීන් සහභාගී වූ අතර වෙ‌ළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා, සාගර රත්නායක මහතා, ජනමාධ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ඇතුළු මැති, ඇමතිවරු පිරිසක්ද සහභාගී වූහ. ශ්‍රී ලංකා සමුපකාර මණ්ඩලය නියෝජනය කරමින් ඒ. ඩී. සරත් වීරසිරි මහතා ඇතුළු සමුපකාර ක්ෂේත්‍රයේ සහ වෙනත් ක්ෂේත්‍රවල විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

    මෙහිදී අදහස් දැක් වූ පී. ඒ. කිරිවන්දෙණිය මහතා ප්‍රකාශ කළේ සමුපකාරයේ අනන්‍යතාව පිළිබදව මෙරට තුළ ප්‍රශ්නයක් ඇති බවත්, ඒ සඳහා විසඳුමක් අවශ්‍ය බවත්ය. කිසිඳු පාර්ශ්වයක බලපෑමකට නතු නොවන සමුපකාරයක් ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපතිතුමන් ඇතුළු බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය. මෙහිදී පිරිස ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ මෙතෙක් කලක් ජනතාව ශක්තිමත් කරමින් කිරිවන්දෙණිය මහතා කළ සේවය අගය කරන බවත්, සමුපකාරයේ ඇති ගැටළු පිළිබදව එ් මහතා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන බවත්ය.