ශ්‍රී ලංකාවේ සම සෞඛ්‍ය විද්‍යා අධ්‍යාපනය නංවාලීම සඳහා Hemas සහ SLIIT අත්වැල් බැඳගනී

    September, 18, 2024

    ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම අරමුණු කරගත් විශේෂ ගිවිසුමකට පසුගියදා හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ Sri Lanka Institute of Information Technology (SLIIT) විසින් අත්සන් තබන ලදී. මේ යටතේ SLIIT-HEMAS Allied Health Sciences Institute (SHAHSI) නමින් අධ්‍යාපන ආයතනයක් පිහිටුවීමට නියමිත අතර, එම ආයතනය මගින් නවීන ලෝකයට ගැළපෙන හෙද සේවා සහ සම සෞඛ්‍ය විද්‍යා අධ්‍යාපනයක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ලබාදෙනු ඇත. මෙහි පළමු ශිෂ්‍ය කණ්ඩායම 2024 ඔක්තෝබර් මාසයේදී බඳවාගනු ලැබීමට නියමිත වන අතර, එම කණ්ඩායමට 300 කට අධික ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් ඇතුළත් වනු ඇත.

    මෙය පෞද්ගලික සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් Hemas Hospitals සතු විශේෂඥ දැනුම සහ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් SLIIT සතු දීර්ඝකාලීන පළපුරුද්ද එක්තැන් කරන සුවිශේෂී පියවරකි. මෙම හවුල්කාරීත්වය යටතේ සම සෞඛ්‍ය විද්‍යා විෂයන් ආවරණය කරන, පුළුල් පරාසයක විහිදුණු පාඨමාලා එකතුවක් හැදෑරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවස්ථාව ලැබෙනු ඇත. සම සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සඳහා මේ වනවිට ජාත්‍යන්තර වශයෙන් විශාල ඉල්ලුමක් පවතී. එබැවින් මෙම හවුල්කාරීත්වය, මෙරට මෙන්ම ලොව පුරා පවතින සම සෞඛ්‍ය වෘත්තික හිඟය පියවීම සඳහා තබන ලද සුවිශේෂී පියවරක් ලෙස හැඳින්විය හැකි වේ.

    හෙද හෙදියන්ගේ සහ අනෙකුත් වෘත්තිකයන්ගේ දැනුම වැඩිදියුණු වන ආකාරයට මෙම පාඨමාලා සැලසුම් කර ඇති අතර, අදාළ විෂයන් සම්බන්ධ ප්‍රවීණ ආචාර්යවරුන් සහ විශේෂඥයන් මෙම පාඨමාලාවල ඉගැන්වීම් හා පුහුණු කටයුතු සිදුකරනු ඇත.  සාමාන්‍ය සම්ප්‍රදායෙන් බැහැරව, පාඨමාලා හදාරන්නන්ට ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ දැනුමක් හා ප්‍රායෝගික පුහුණුවක් ලබාදීම SHAHSI ආයතනයේ අරමුණ වී තිබේ. මේ වනවිට ඕස්ට්‍රේලියාවේ Deakin University සහ එක්සත් රාජධානියේ Liverpool John Moores University සමග එක්ව පිරිනමනු ලබන පාඨමාලා එකතුවක් SHAHSI හිදී හැදෑරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවස්ථාව ලැබෙනු ඇති අතර, හෙද පාඨමාලාවට තෘතීයික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ NVQ Level 6 සුදුසුකම් මට්ටම හිමි වී තිබේ.

    මේ වනවිට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිදු වී ඇති බරපතළ බුද්ධිගලනය මගින් ඇති වූ බලපෑම් අවම කිරීම සඳහා, නව සෞඛ්‍ය සේවා වෘත්තිකයන් පිරිසක් බිහිකිරීමට Hemas Hospitals කැප වී සිටී. තම ක්‍රමෝපායික වැඩසටහන් අතරින් එකක් ලෙස සිදුකරනු ලබන මෙම මානව සම්පත් සංවර්ධන ආයෝජනය මගින් රටේ සෞඛ්‍ය සේවා ශ්‍රම බලකාය ශක්තිමත් කරමින් ක්ෂේත්‍රයට වඩාත් තිරසාර අනාගතයක් උදාකර දීමට හැකි වන ඇතැයි Hemas Hospitals විශ්වාස කරයි.

    මේ වනවිට ලොව පුරාම සෞඛ්‍ය ක්ෂේත්‍රය පුහුණු ශ්‍රමික හිඟයකට මුහුණ දී සිටින අතර, ශ්‍රී ලංකාවේදී පෞද්ගලික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වාර්ෂික හෙද හිඟය 1,000 ත් 2,000 ත් අතර මට්ටමක පවතී. Hemas Hospitals සහ SLIIT එක්ව දරනු ලබන මෙම සාමූහික ප්‍රයත්නයේ එක් ප්‍රධාන අරමුණක් වන්නේ මෙම හිඟය පියවීම ය.  දැනටමත් වත්තල සහ තලවතුගොඩ යන ප්‍රදේශවල නවීනතම පහසුකම් සහිත රෝහල් දෙකක් සහ රට පුරා විසිරුණු රසායනාගාර 43 ක් Hemas Hospitals සතු ය. Hemas Pharmaceuticals සහ Morison යන සමාගම්ද මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගම් බවට පත් වී තිබේ. Hemas Pharmaceuticals මේ වනවිට මෙරට ප්‍රමුඛතම ඖෂධ බෙදාහැරීමේ සමාගමක් බවට පත් වී ඇති අතර, මෙරට පෙති, කරල් හා දියරමය ඖෂධ නිපදවන ප්‍රථම සහ විශාලතම කම්හල Morison සමාගම සතු ය.

    මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියාමන ආයතන සමග එක් වී විෂය මාලාවන් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් SLIIT ආයතනයට දීර්ඝ පළපුරුද්දක් ඇත. එම නිසා SLIIT යනු මෙරට සම සෞඛ්‍ය විද්‍යා අධ්‍යාපනය නංවාලීම සඳහා විශිෂ්ට දායකත්වයක් ලබාදිය හැකි අධ්‍යාපන ආයතනයකි. පෞද්ගලික අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වසර 25 කට අධික කීර්තිමත් ඉතිහාසයක් හිමි SLIIT ආයතනයෙහි ඉගෙනුම ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව 25,000 ඉක්මවයි. එමෙන්ම එය Curtin, Deakin සහ Liverpool John Moores වැනි ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සමග දීර්ඝකාලීන සම්බන්ධතා ගොඩනංවාගෙන තිබේ.

    ශ්‍රී ලංකාවේ හෙද සහ සම සෞඛ්‍ය අධ්‍යාපනය නංවාලීම සඳහා මෙම හවුල්කාරීත්වයට ඇති හැකියාව සම්බන්ධයෙන් හේමාස් සමූහ ව්‍යාපාරයේ සෞඛ්‍ය සේවා අංශයේ සභාපති මුර්තසා යුසුෆලි මහතා මෙසේ පැවසී ය. “මෙම පාඨමාලා හදාරන දක්ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉදිරියේදී ශිෂ්‍යත්ව මෙන්ම නිසැක රැකියා අවස්ථා පිරිනැමීමට Hemas Hospitals බලාපොරොත්තු වනවා. අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ SLIIT ආයතනය සතු විශේෂඥ දැනුම හා පළපුරුද්ද සමගින් අපට, ලොව පුරා සෞඛ්‍ය සේවා ආයතනවලට තම රෝගීන්ට වඩාත් හොඳ සේවාවක් ලබාදීමට උපකාරී වන දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමට හැකි වේවි.”

    SLIIT උපකුලපති සහ එහි ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ලලිත් ගමගේ මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වී ය. මෙම පාඨමාලා හඳුන්වා දීම සඳහා හේමාස් සමග එක්ව කටයුතු කිරීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය අරමුණු සහ  ඉලක්ක කිහිපයක් සාක්ෂාත් කර ගැනීම සඳහා ඇතිකරගත් හවුල්කාරීත්වයක් ලෙස හැඳින්විය හැකියි. ඉතා සාර්ථක සෞඛ්‍ය සේවයක් වෙනුවෙන් වන අවශ්‍යතාව සඳහා විසඳුමක් ලෙස වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයත්, කර්මාන්ත ක්ෂේත්‍රයත් අතර උපායමාර්ගික සහයෝගීතාවෙහි ඇති වැදගත්කමත් මෙහිදී අවධාරණය කරනවා. මෙම හවුල්කාරීත්වයේ ප්‍රතිඵල දැකගැනීමට අප බලා සිටින්නේ මහත් වූ උනන්දුවකින්.”

     

    ඡායාරූපය: (වමේ සිට): හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සීහි ප්‍රධාන ක්‍රමෝපාය හා වර්ධන නිලධාරී රිස්නි ෆයිසාල්, එහි සමූහ අධ්‍යක්ෂ සහ සෞඛ්‍ය සේවා අංශයේ සභාපති මුර්තසා යුසුෆලි, වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන මානව සම්පත් නිලධාරී රවී ජයසේකර, සභාපති හුසේන් යුසුෆලි, SLIIT උපකුලපති සහ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ලලිත් ගමගේ, එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය උප-කුලපති සහ ප්‍රධාන මහාචාර්ය නිමල් රාජපක්ෂ, මානව ශාස්ත්‍ර සහ විද්‍යාපීඨයේ පීඨාධිපති ආචාර්ය මලින්ත විජේසුන්දර සහ එහි ප්‍රධාන මූල්‍ය නිලධාරී නිරාජ් මුතුකුඩ යන මහත්ම මහත්මීන්