ශ්‍රී ලංකාවේ සාප්පු සවාරි සහ විනෝදාස්වාද අත්දැකීම සුවිශේෂී මානයකට යොමු කරමින් Havelock City Mall අතිඋත්කර්ෂවත් ලෙසින් විවෘත වේ

    October, 19, 2023

    Havelock City Mall අතිඋත්කර්ෂවත් අයුරින් අද (19) පෙරවරුවේ දී විවෘත විය. කොළඹ නගර මධ්‍යයේ පිහිටි ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් මෙම වෙළඳ සංකීර්ණය හරහා මෙරට ජනතාවට අසමසම සාප්පු සවාරි අත්දැකීමක් සහ විනෝදාස්වාද අත්දැකීමක් විඳ ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.

    වර්ග අඩි 200,000කට වඩා වැඩි ඉඩ ප්‍රමාණයක විහිදෙන මෙම වෙළඳ සංකීර්ණය නිසැකවම පාරිභෝගිකයන්ගේ පාරාදීසයක් වනු ඇත. එමෙන්ම ODEL, Cargills Food Hall, Scope Cinemas, Food Studio, Cool Planet සහ Abans ඇතුළු ප්‍රමුඛතම වෙළඳ සන්නාම හයකට මේ තුළ ඉඩහසර වෙන් වේ. එපමණක් නොව, අසමසම විලාසිතා සහ උපාංග, විනෝදාස්වාද අවස්ථා, ආහාර - පාන වර්ග, ඉලෙක්ට්‍රොනික උපකරණ, ගෘහ උපකරණ සහ තෑගි ඇතුළු නොයෙකුත් සේවාවන් රැසක් සපයන තවත් අලෙවිසැල් 132 කින් මෙම වෙළඳ සංකීර්ණය සමන්විත වේ.

    ඕනෑම අයෙකුට තම ප්‍රියතම ආහාර වර්ග තෝරා ගැනීමට හැකි අවන්හල් රාශියකින් Havelock City Mall සමන්විත වේ. දෙස් විදෙස් ප්‍රණීත ආහාර වර්ග පිරුණු ඉක්මනින් සේවාවන් සපයන අවන්හල්, කැෆේ, ක්‍රීඩා අවන්හල් ඇතුළු විශේෂිත අවන්හල් 30කට අධික ප්‍රමාණයක සේවාවන් මෙහිදී අත්විඳිය හැකිය.

    Havelock City Mallහි විස්මිත විනෝදාස්වාද අත්දැකීම් පෙළද පාරිභෝගිකයන්ට මෙහිදී අත්විඳීමට අවස්ථාව සැලසෙනු ඇත. කුඩා ළමුන් වෙනුවෙන් වෙන්වූ Wet & Wild Adventure Zone හිදී ජල ක්‍රීඩා සහ තවත් විවිධ ක්‍රියාකාරකම් සඳහා අවස්ථාව සැලසෙනු ඇත. Climbing wall අත්දැකීම ඔබට සමීප කරන Jungle Zone පරිශ්‍රය සහ Ocean Zone හි ඇති ජල ක්‍රීඩා ක්‍රියාකාරකම් හරහා ඔවුන්ට මෙතෙක් අත් නොවිඳි අත්දැකීමක් ලැබෙනු ඇත. එමෙන්ම මුළු පවුලටම අත්විඳිය හැකි Augmented Reality සහ Virtual Reality ක්‍රීඩා ආකේඩ් පරිශ්‍රය ක්‍රීඩා ලෝලීන්ට අමතක නොවන අත්දැකීමක් සමීප කරනු ඇත.
    ආසන 1,000කින් සමන්විත, තිර හයේ බහුපථ සිනමා අත්දැකීමක් ඔබට සමීප කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම විශාල ආකෘතියේ IMAX සිනමා ශාලාව ලබන වසරේ මුල් භාගය වන විට මෙහිදී විවෘත වීමට නියමිතය.

    Overseas Realty (Ceylon) PLC සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී/ අධ්‍යක්ෂක ප්‍රවීර් සමරසිංහ මහතා ප්‍රකාශ කළේ Havelock City Mall වෙත සියලු දෙනා සතුටින් පිළිගන්නා බවයි. මෙම වෙළඳ සංකීර්ණයේ සංකල්පය සහ පිහිටීම මෙන්ම ඒ වටා අත්වැල් බැඳගත් ජාත්‍යන්තර සහ දේශීය සන්නාම එකතුව එය තවදුරටත් සුවිශේෂී ස්ථානයක් වීමට හේතු වන බව ඔහු පැවසීය. එමෙන්ම පැමිණෙන සියලු දෙනාට විවිධත්වය පිරි සාප්පු සවාරි අත්දැකීම්, විනෝදාස්වාද අවස්ථාවන්, සහ අනර්ඝ භෝජන ශාලා පහසුකම් සපයමින්ද පවුලේ සියල්ලන්ටම ගැලපෙන, නවීන ජීවන රටාවන්ට වඩාත් උචිත, ප්‍රීතිමත් ස්ථානයක් බවට Havelock City Mall පත්වනු ඇති බව ඔහු පවසා සිටියේය.

    කොළඹ 3,4,5, සහ 6 ප්‍රදේශවල පදිංචිකරුවන්ට මෙන්ම දෙහිවල, ගල්කිස්ස, නුගේගොඩ, මහරගම, කොට්ටාව, කිරුළපන, නාරාහේන්පිට, රාජගිරිය, නාවල, කෝට්ටේ, හෝමාගම සහ ඉන් ඔබ්බට ඇති ප්‍රදේශවල පදිංචිකරුවන්ටද ඉතා පහසුවෙන් මෙහි ලඟා විය හැක.

    ශ්‍රී ලංකාවේ විශාලතම ඒකාබද්ධ ව්‍යාපෘතිය වන Havelock City අබියස පිහිටා ඇති Havelock City Mall ගොඩනගා ඇත්තේ කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ හිමිකරු, කළමනාකරු සහ සංවර්ධකයාද වන Overseas Realty (Ceylon) PLC විසිනි.