ශ්‍රී ලංකාවේ සෑම හයදෙනෙකුගෙන් එක් අයෙක් අන්ත දුප්පත්

    February, 25, 2025

    වර්තමාන ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සෑම පුද්ගලයන් 06 දෙනෙකුගෙන් එක් අයෙකු බහුමාන දරිද්‍රතාවයෙන් පෙළෙන අතර, එම ජනගහනයෙන් 95.3%ක් ග්‍රාමීය හා වතු ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වේ.

    ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක කරනු ලැබ ඇති දිළිඳු බව තුරන් කිරීමේ වැඩසටහන් මඟින් ලැබී ඇති අවසන් ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයක් සෑහිමට පත්ව නොමැති බව ඒ සම්බන්ධයෙන් පළ කරනු ලබන අදහස් දැක්වීම් මඟින් පෙනී යයි.

    පසුගිය දශක කිහිපය තුළ දිළිඳුකම පිටු දැකීමේ සුබසාධන වැඩසටහන් මඟින් සහන සලසන ලද ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව සහ ඒ සඳහා වැය කරනු ලැබ ඇති මුදල් ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ ගොස් තිබේ. වසර 2000 වන විට ප්‍රතිලාභී සංඛ්‍යාව මිලියන 1.10ක් වී ඇති අතර, 2010 වර්ෂය වන විට එම සංඛ්‍යාව මිලියන 1.57ක් දක්වා වැඩි වී ඇත. 2024 වර්ෂය වන විට එම සංඛ්‍යාව මිලියන 1.79ක් දක්වා තවදුරටත් වර්ධනය වී තිබේ.

    මෙම තත්ත්වය දිගින් දිගටම පවත්වාගෙන යාම රටේ ආර්ථික හා නිෂ්පාදන ක්‍රියාවලියට අහිතකර ලෙස බලපාන බැවින්, අවදානම් කණ්ඩායම් පමණක් විධිමත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලකට යොමු කර අනෙක් පිරිස ආර්ථික ක්‍රියාවලියේ සක්‍රීය කොටස්කරුවන් ලෙස දායක කර ගනිමින් ක්‍රමවත්ව සැලැසුම් කරන ලද වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුව ඇත.

    ඒ අනුව, නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුගතව 'පොහොසත් රටක් - සුරක්ෂිත ජීවිතයක්' යන දැක්ම සාක්ෂාත් කර ගැනීමට හැකි වන පරිදි බහුවිධ ප්‍රවේශයක් සහිත ඒකාබද්ධ වැඩසටහනක් වශයෙන් "ප්‍රජා ශක්ති" වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.