November, 3, 2025
ශ්‍රී ලංකාවේ දියවැඩියා පාලනය නවමානයකට යොමු කිරීමේ පියවරක් ලෙස ට්‍රාන්ස් ෆාමා හෝල්ඩින්ග්ස් ආයතනය විසින් අඛන්ඩව ග්ලුකෝස් අධීක්ෂණය කිරීමේ සංවේදකයක් (CGMS) හඳුන්වා දී ඇති අතර, එය චීනයේ මයික්‍රෝ ටෙක් මෙඩිකල් ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද ”ඒඩෙක්ස්” (AIDEX X) ලෙස හඳුන්වනු ලැබේ. මෙය කොළඹ හිල්ටන් හෝටලයේ පැවතී “තාක්ෂණය හරහා දියවැඩියා කළමනාකරණය නවමානයකට යොමු කිරීම මැයෙන් පැවැත්වූ වෛද්‍ය සම්මන්ත්‍රණයේදී එළි දක්වන ලදී.
ඒඩෙක්ස් CGMS තාක්ෂණය මගින් සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට මෙන්ම රෝගීන් සහ ඔවුන්ගේ භාරකරුවන්ටද අඛණ්ඩව සෑම මිනිත්තුවකට වරක් දින 15 ක් පුරා ග්ලුකෝස් මට්ටම් සහ එහි ප්රවණතා පිළිබඳව අඛණ්ඩව නිරීක්ෂණය කළ හැකිය. එය සඳහා ඉතා පහසුවෙන් අතේ යටි බාහුවට හෝ උදරයට සම්බන්ධ කළ හැකි සැහැල්ලු සංවේදකයක් සහ මෘදුකාංග යෙදුමක් භාවිතා කෙරේ.මෙමගින් සිරුරේ ග්ලුකෝස් මට්ටමේ සිදුවන වෙනස් වීම් පිළිබඳ විශ්ලේෂණයක් සපයන අතර රෝගීන්ගේ ප්‍රතිකාර සහ පුද්ගලික ජීවන රටා වෙනස්කම් පිළිබඳ තීරණ ගැනීමේ දී වෛද්‍යවරුන්ට මෙය මහෝපකාරී වේ.
මෙම අවස්ථාව සඳහා දියවැඩියා සත්කාර ක්ෂේත්රයේ ප්රමුඛ විශේෂඥයින් සහ වෘත්තිකයන් සම්බන්ධ විය. ජ්‍යෙෂ්ඨ අන්තරාසර්ග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය විද්‍යාජෝති ප්‍රසාද් කටුලන්ද මහතා, සාම්ප්‍රදායික ක්‍රමවේදවල සිට අඛණ්ඩ ග්ලුකෝස් අධීක්ෂණ පද්ධතියක් දක්වා ග්ලුකෝස් නිරීක්ෂණයේ පරිණාමය පිළිබඳව මෙම අවස්ථාවේදී පැහැදිලි කළේය. රෝගියාගේ සෞඛ්‍ය තත්වය සහ දියවැඩියා ප්‍රතිකාර කළමනාකරණය කිරීමේදී මෙහි ඇති තාක්ෂණික වටිනාකම එතුමන් විසින් පෙන්වා දුන්නේය.
ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යායතනයෙහි සායනික සහකාර මහාචාර්ය සහ දියවැඩියා තාක්ෂණය පිළිබඳ විශේෂඥයෙකු වන වෛද්‍ය ලලන්ත ලීලාරත්න මහතා ග්ලුකෝස් පාලනයේ අනාගතය සහ කෘතිම බුද්ධිය අනුබද්ධිත තාක්ෂණය පිළිබඳ සාකච්ඡා කිරීමට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ විය. මෙම අඛණ්ඩ ග්ලූකෝස් අධීක්ෂණ සංවේදකය ගෝලීය වශයෙන් දියවැඩියා කළමනාකරණය විප්ලවීය ලෙස වෙනස් කර ඇති ආකාරය, වෛද්‍යවරුන්ට තම රෝගීන්ගේ ප්‍රතිකාර සහ ජීවන රටා පිළිබඳ තීරණ ගැනීම සරල කර ඇති ආකාරය මෙන්ම රෝගීන්ගේ ජීවන තත්ත්වය ඉහල නැංවී ඇති ආකාරය ඔහු අවධාරණය කළේය.
මයික්‍රෝ ටෙක් මෙඩිකල් ආයතනයේ දකුණු ආසියානු ව්‍යාපාර සංවර්ධන කළමනාකරු වින්සන්ට් ගුඕ මහතා සහ ආසියා පැසිපික් ව්‍යාපාර සංවර්ධන කළමනාකරු ස්ටීවන් හේ මහතා මෙම අවස්ථාවට සහභාගී වූ අතර සෞඛ්‍ය සේවා තාක්ෂණයේ දියුණුව සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවයේ වැදගත්කම ඉස්මතු කළහ. සෑම විටම තාක්ෂණයෙන් සහ ප්‍රමිතියෙන් ඉහළ නිමැවුම් සඳහා ඔවුන්ගේ ඇති නැඹුරුවද පෙන්වා දෙන ලදී.
මෙහිදී අදහස් දැක්වීම සඳහා එකතු වූ ට්‍රාන්ස් ෆාමා හෝල්ඩින්ග්ස් ආයතනයේ සභාපති ආචාර්ය චූලා ගංගොඩ මහතා කියා සිටියේ සියලුම ශ්‍රී ලාංකිකයන්ට දැරිය හැකි මිලකට උසස් ප්‍රමිතියේ ඖෂධ සහ සෞඛ්‍ය සේවා විසඳුම් ලබාදීම ඔවුන්ගේ දැක්ම බවයි. එසේම දියවැඩියා රෝගීන් මුහුණ දෙන විවිධ දුෂ්කරතාවයන් මනාව වටහාගෙන ඇති වගකීම් සහගත ආයතනයක් වශයෙන් මෙවන් නවීන තාක්ෂණයක් ශ්‍රී ලංකාවට මුල්වරට හඳුන්වා දීමට ලැබීම ගැන තමුන් සතුටු වන බව පැවසීය.
ට්‍රාන්ස් ෆාමා ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ විකුම් ගීගනගේ මහතා මෙම මාහැඟි නිමවුමක් මෙරටට දායාද කිරීමට කැප වී කටයුතු කළ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සහ සියලු දෙනාටම කෘතඥතාවය පළ කළ අතර, නවීන සෞඛ්‍ය සේවා විසඳුම් හරහා රෝගීන් සහ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් යන දෙයංශයම සවිබල ගැන්වීමට සමාගමේ කැපවීම නැවත අවධාරණය කළේය. ඊට අමතරව මෙම තාක්ෂණය භාවිතයේදී ඇතිවිය හැකි තාක්ෂණික ගැටළු නිරාකරණය කිරීම සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් (0740 99 45 45) ට්‍රාන්ස් ෆාමා විසින් ස්ථාපිත කර ඇත.


