ශ්‍රී ලංකාවේ හොඳම කළමනාකරණ ක්‍රියාවලිය සහිත සමාගම ලෙස සියැට් කැලණි සම්මාන ලබයි

    April, 6, 2026

    ශ්‍රී ලංකාවේ වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM ශ්‍රී ලංකා) විසින් සංවිධානය කරන ලද 2026 හොඳම කළමනාකරණ පරිචයන් සඳහා වන සමාගම් සම්මාන උළෙලේදී සමස්ත රන් සම්මානය සහ තවත් කීර්තිමත් සම්මාන හතරක් දිනා ගනිමින් සියැට් කැලණි හෝල්ඩින්ග්ස් දිවයිනේ හොඳම කළමනාකරණ ක්‍රියාවලියක් සහිත සමාගම ලෙස සම්මාන දිනා ඇත.

    සම්මාන උළෙලේදී ඉහළම සමාගම් හතළිහ ලැයිස්තුවට සියැට් කැලණි ඇතුළත් වූ අතර නිෂ්පාදන කාණ්ඩයේ ටයර් සහ රබර් අංශයේ ජයග්‍රාහකයා ලෙස හා හොඳම කළමනාකරණ පරිචයන් සඳහා විශේෂ සම්මානයක් ද සියැට් කැලණි සමාගමට හිමි විය. මෙහිදී සමාගමේ ශක්තිමත් නායකත්වය සහ එහි උපායශීලී දිශානතිය වෙනුවෙන් සියැට් කැලණි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී රවී ඩඩ්ලානි මහතා නායකත්ව විශිෂ්ටතම සම්මානය ද දිනා ගත්තේය.

    මෙම සම්මාන පිළිබඳ අදහස් දක්වමින් සියැට් කැලණි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී රවී ඩඩ්ලානි මහතා මෙසේ පැවසූවේය: “ශ්‍රී ලංකාවේ හොඳම කළමනාකරණ ක්‍රියාවලියක් සහිත සමාගම ලෙස තේරී පත්වීම දුර්ලභ ගෞරවයක් පමණක් නොව, අභියෝගාත්මක කාලවලදී වසර ගණනාවක් පුරා වෙහෙස වී කටයුතු කිරීම සඳහා ලැබුණු පිළිගැනීමක් ද වේ. මෙyම පිළිගැනීම සමාගමේ සියලුම ක්‍රියාකාරකම් වලදී සියලුම සේවකයින්ගේ සහභාගීත්වයෙන් හොඳම තත්ත්ව කළමනාකරණ පිළිවෙත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ පිළිබිඹුවකි.”

    QBM දර්ශනය ඔස්සේ සියැට් කැලණි පාරිභෝගික කේන්ද්‍රීය සංවිධානයක් බවට පරිවර්තනය කර ඇති බවත් එය ශක්තිමත් මෙහෙයුම් සහ මූල්‍ය කාර්ය සාධනයක් ද ලබා දී ඇති බවත් ඔහු පැවසීය. ඩිජිටල් පරිවර්තනය සහ සේවක සහභාගීත්වයෙන් සහාය වන අඛණ්ඩ වැඩිදියුණු කිරීම සමාගමේ උපාය මාර්ගයේ හරය ලෙස පවතින බව ද ඔහු පැවසීය.

    මෙම වසරේ දී සියැට් කැලණි සමාගම ලබාගත් මෙම පිළිගැනීම් ගුණාත්මකභාවය පදනම් වූ කළමනාකරණ (QBM) දර්ශනය මත පදනම් වේ. මෙම දර්ශනය සමාගමේ ගුණාත්මක මෙහෙයුම් සඳහා පාරිභෝගික තෘප්තිය ගොඩනගන අතර, සමාගමේ සමස්ත ව්‍යාපාරික ඉලක්ක සමඟ ක්‍රියාවලීන් සහ පුද්ගලයින් ඒකාබද්ධ කරයි. සම්මාන සඳහා ඉදිරිපත් කරන ලද ප්‍රධාන මුලපිරීම්වලින් එකක් වූයේ පාරිභෝගිකයන්ගේ හිමිකම් පියවීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පරිවර්තනය කර, එක් දිනක් ඇතුළත පරීක්ෂාව සිදු කිරීමට හැකිවන ලෙස කටයුතු කිරීමයි.

    2025 දී බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ශ්‍රී ලංකාවේ වටිනාම ටයර් සන්නාමය ලෙසත්, LMD විසින් ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම ජනාදරයට පත් ටයර් සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කරන ලද සියැට්, ශ්‍රී ලංකාවේ වැඩිම අලෙවියක් ඇති ටයර් සන්නාමය වන අතර වාර්ෂිකව ටයර් මිලියන 1.2 කට වඩා අලෙවි කරයි. සියැට් කැලණි වෙළඳපොළ නායකත්වයට පත්වීම තාක්ෂණය, නවෝත්පාදනය සහ ධාරිතාවය යන අංශවල තිරසාර ආයෝජන මගින් තහවුරු වේ. සමාගමේ නිෂ්පාදන මාලාව රේඩියල්  (මගී මෝටර් රථ, වෑන් සහ SUV), වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්), යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ කෘෂිකාර්මික වාහන යන අංශ සඳහා වන ටයර ආවරණය කරයි.

    සියැට් සමාගම එහි නිෂ්පාදනයෙන් සියයට 20 ක් පමණ රටවල් 16 කට අපනයනය කරයි. සියැට් කැලණි හවුල් ව්‍යාපාරය පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති සමස්ත ආයෝජනය රුපියල් බිලියන 8.5 ඉක්මවන අතර ඉදිරි මාස 18 තුළ තවත් රුපියල් බිලියන 4.5 ක් කැප කරමින් දේශීය ආර්ථිකයට අත්‍යවශ්‍ය දායකත්වයක් සපයන අතර ජාතියේ ප්‍රවාහන අංශයේ විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස එහි ස්ථානය ශක්තිමත් කර ඇත.

    සේයාරු සටහනCEAT කැලණි කණ්ඩායම CPM හොඳම කළමනාකරණ පරිචයන් සඳහා වන සමාගම් සම්මාන උළෙලේදී ලැබූ සම්මාන සමඟ.