ශ්‍රී ලංකාවේ 16 වන ජාතික සයිබර් ආරක්ෂණ සමුළුව 2025 කොළඹ දී

    November, 14, 2025

    ශ්‍රී ලංකාවේ 16 වන ජාතික සයිබර් ආරක්ෂණ සමුළුව 2025 , " ශ්‍රී ලංකාව සඳහා වඩාත් විශ්වාසදායී සයිබර් ආරක්ෂණ පරිසරයක් නිර්මාණය කිරීම" යන මැයෙන් නොවැම්බර් මස 12 වන දින බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, දෙස් විදෙස් නියෝජිතයින් සහ ආරාධිතයන් 400 කට වඩා වැඩි ප්‍රමාණයක සහභාගීත්වයෙන් පැවැතිණ.

    ප්‍රතිපත්ති සම්පාදකයින්,තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ නිරත වෘත්තීයවේදීන්, ශාස්ත්‍රඥයින්, තාක්ෂණ විශේෂඥයින් සමගින් රජයේ, පෞද්ගලික අංශයේ, ව්‍යාපාරික සමාගම්, රාජ්‍ය නොවන සංවිධාන සහ විශ්ව විද්‍යාලවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම ජාතික සමුළුව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් ඒකාබද්ධව සංවිධානය කරනු ලැබිණ.

    මෙවර සමුළුවේ දී "ප්‍රතිපත්තීන් හැඩගැස්වීම, භාවිතයන් සක්‍රීය කිරීම සහ ජාතික වශයෙන් ප්‍රතිචාර දැක්වීමේ ධාරිතාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු විය. සයිබර් සූදානම වැඩිකිරීම, ඩිජිටල් විශ්වාසය සහ සයිබර් තර්ජන වැඩිවන යුගයක ජාතික ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා රටේ උපායමාර්ගික දිශාගත කිරීම ඉන් පිළිබිඹු කෙරෙන අතර සයිබර් ආරක්ෂණ සංවර්ධනය සහ ධාරිතාව වර්ධනය සඳහා සෑම අංශයක්ම ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කරන ශක්තිමත් බහු-පාර්ශ්වකරුවන්ගේ සහයෝගීතාවයක් ගොඩනැගීම අඛණ්ඩව කරගෙන යාම සමුළුවේ අරමුණ විය.

    පැමිණ සිටි පිරිස අමතමින් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය, එරංග වීරරත්න මහතා ඩිජිටල් පද්ධති කෙරෙහි මහජන විශ්වාසය ශක්තිමත් කිරීම පිළිබඳ දේශනයක් පැවැත් වූ අතර එහිදී ඔහු අතීතයේ මෙන් යුධ ගැටුම් ඇතිවන්නේ අවි ආයුධ වලින් පමණක් නොවන බවත් මේ නිසා සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් අන්තර් ජාතික වශයෙන් සහයෝගීතාවන් ගොඩනගා ගනිමින් කටයුතු කළ යුතු බවත් පෙන්වා දුන්නේය.

    සමුළුව ආරම්භ කරමින් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ සභාපති, තිලක් පතිරගේ මහතා වසින් පිළිගැනීමේ දේශනය පැවැත් වූ අතර, ආර්ථික ව්‍යාප්තියේ සහ ගෝලීය තරඟකාරිත්වයේ මූලික පදනම සයිබර් ආරක්ෂාව බව අවධාරණය කරමින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා සමුළුවේ සමාරම්භක දේශනය පැවැත්වීය.

    අනතුරුව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (Sri Lanka CERT) වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කනිෂ්ක කරුණාසේන මහතා විසින් ශ්‍රී ලංකාවේ ජාතික සයිබර් ආරක්ෂණ උපායමාර්ගය ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡාකරමින් විශේෂ දේශනයක් පැවැත් වූ අතර ගෝලීය සයිබර් ආරක්ෂණ ප්‍රවණතා ශ්‍රී ලංකාවේ ජාතික සූදානම හැඩගැස්වීම පිළිබඳව සමුළුවේ ප්‍රධාන දේශනය ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ ටකාෆුමි කඩෝනෝ මහතා විසින් පැවැත්වීය.

    මීට අමතරව සමුළුවට සමගාමීව ආරාධිත දේශන, සැසි පැවති අතර එහිදී ජාතික සයිබර් පාලනය, ඩිජිටල් යටිතල පහසුකම්වල ආරක්ෂාව, සයිබර් ආරක්ෂණ නීතිය සහ දත්ත ආරක්ෂණ රාමු, මාර්ගගත ආරක්ෂාව, මෙහෙයුම් ඔරොත්තු දීමේ හැකියාව, ගෝලීය සයිබර් ආරක්ෂක සහයෝගීතාවය මෙන්ම කෘත්‍රිම බුද්ධිය (AI), ක්ලවුඩ් පරිගණකකරණයහි ආරක්ෂාව (Cloud Computing Security) සහ ක්වොන්ටම් පද්ධති ආරක්ෂාව (Quantum security) වැනි නැගී එන තාක්ෂණයන්හි වගකිවයුතු භාවිතය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණ.

    මෙම වසරේ සමුළුවට කර්මාන්තයේ ප්‍රධාන සමාගම් කිහිපයක අනුග්‍රාහකත්වය දැක්වූ අතර Dialog Enterprise ප්‍රධාන අනුග්‍රාහකයා ලෙසත් Check Point ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙසත්, Fortinet රන් අනුග්‍රාහකයා ලෙසත්, TikTok මාර්ගගත ආරක්ෂාව සඳහා උපායමාර්ගික සහකරු ලෙසත්, Sentry Labs රිදී අනුග්‍රාහකයා ලෙසත් එක්විය.