ශ්‍රී ලංකාවේ Isuzu අමතර කොටස් ජාලය ශක්තිමත් කරමින් Sathosa motors සිය අලෙවි නියෝජිතයන් අගයයි

    March, 6, 2026

    ශ්‍රී ලංකාවේ Isuzu වාහන සඳහා බලයලත් බෙදාහරින්නා වන සතොස මෝටර්ස් පීඑල්සී (Sathosa Motors PLC), සිය දිවයින පුරා විහිදුණු අමතර කොටස් අලෙවි නියෝජිත ජාලය ඇගයීම වෙනුවෙන් සංවිධානය කළ ‘Elite Circle’ 2026 අලෙවි නියෝජිත සමුළුව පසුගිය දා Monarch Imperial හි දී උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.  මෙරට Isuzu අමතර කොටස් ජාලය ශක්තිමත් කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන අලෙවි නියෝජිතයන්ගේ කැපී පෙනෙන ජයග්‍රහණ සහ සාර්ථකත්වයන් මෙහිදී ඇගයීමට ලක් කළ කෙරිණි.  සමාගම සහ අලෙවි නියෝජිතයන් අතර පවතින දීර්ඝකාලීන සබඳතාවයට ගෞරවයක් මෙම සමුළුව මඟින් එක් කරන අතර සන්නාමයේ වර්ධනයට ඔවුන් දක්වන නිරන්තර දායකත්වය කෙරෙහි  ඉහළ ඇගයීමක් පිරිනමන ලදී.

    1962 වසරේ සිට ශ්‍රී ලංකාවේ Isuzu වාහන සඳහා බලයලත් නියෝජිතයා ලෙස කටයුතු කරන සතොස මෝටර්ස් පීඑල්සී, දේශීය මෝටර් රථ ක්ෂේත්‍රයේ විශ්වාසනීය සන්නාමයක් බවට පත්ව ඇති අතර,  විශ්වාසනීයත්වය, විශිෂ්ට සේවාව සහ පාරිභෝගික තෘප්තිය වෙනුවෙන් කැපවී කටයුතු කරන සිය නියෝජිතයන්ගේ දස්කම්  උදෙසා උපහාරයක් ලෙස මෙම සමුළුව පැවැත්විණි.

    Isuzu Motors Asia හි කළමනාකාර අධ්‍යක්ෂ නොබුහිසා මියාෂිතා (Nobuhisa Miyashita) මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මෙම අවස්ථාවට ඇක්සස් සමූහ ව්‍යාපාරයේ (Access Group) සභාපති සුමල් පෙරේරා, උප සභාපති ක්‍රිස්ටෝපර් ජොෂුවා, සතොස මෝටර්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍රීමාල් ප්‍රනාන්දු, විධායක අධ්‍යක්ෂ ඩර්ක් ජොෂුවා සහ අමතර කොටස් අංශයේ සාමාන්‍යාධිකාරී රවිලාල් ආලෝකබණ්ඩාර යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වූහ. එසේම Isuzu Motors Limited, Isuzu Motors International Operations සහ ITOCHU Corporation නියෝජිතයන් ද  මෙම සැමරුමට එක්වීම ඔස්සේ ශ්‍රී ලංකාව තුළ Isuzu සන්නාමය සංවර්ධනය කිරීමට පිටුබලය දෙන ජාත්‍යන්තර සබඳතාවල ශක්තිමත්භාවය මනාව පිළිඹිබු විය.

    මෙහිදී අදහස් දැක්වූ අමතර කොටස් අංශයේ සාමාන්‍යාධිකාරී රවිලාල් ආලෝකබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, ‘The Elite Circle’ යනු හුදෙක් විශිෂ්ටත්වය සැමරීමක් පමණක් නොව, සතොස මෝටර්ස් සහ එහි අලෙවි නියෝජිත ජාලයේ සාර්ථකත්වයට මග පාදන ශක්තිමත් සබඳතා යළි තහවුරු කිරීමක් බවයි. පාරිභෝගිකයන්ට ඉහළ වටිනාකමක් ලබා දෙමින් Isuzu අමතර කොටස් ජාලය තවදුරටත් පුළුල් කිරීමේ පොදු දැක්ම පෙරදැරිව මෙම වැඩසටහන සාර්ථකව නිමාවට පත් විය.

    මෙම උත්සවයේ සුවිශේෂීම අවස්ථාව වූයේ ඉහළම දස්කම් දැක්වූ අලෙවි නියෝජිතයන් වෙත සම්මාන ප්‍රදානය කිරීම වන අතර, එහිදී පසුගිය වසරේ ඔවුන්ගේ ව්‍යාපාරික වර්ධනය සහ සේවා විශිෂ්ටත්වය පදනම් කරගනිමින් ප්ලැටිනම්, රත්රන් සහ රිදී යන කාණ්ඩ යටතේ සම්මාන පිරිනමන ලදී. වසර 30කට වැඩි කාලයක් සමාගම සමඟ අත්වැල් බැඳගත් පිරිස ද ඇතුළුව, දිවයින පුරා විහිදුණු 150කට අධික අලෙවි නියෝජිත ජාලයක් සමඟ සතොස මෝටර්ස් පීඑල්සී විශ්වාසය සහ අන්‍යෝන්‍ය ප්‍රගතිය මත පදනම් වූ සබඳතා තවදුරටත් පවත්වාගෙන යයි. මෑත වසරවලදී අමතර කොටස් අංශයේ අත්කර ගෙන ඇති සුවිශේෂී වර්ධනය සඳහා මෙම අලෙවි නියෝජිත ප්‍රජාවගේ කැපවීම බෙහෙවින් ඉවහල් වී ඇත.