December, 19, 2025
ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G තරංගමාලා (5G Spectrum) බලපත්‍ර නිල වශයෙන් පිරිනැමීමේ උත්සවය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) සංවිධානයෙන් අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.
ශ්‍රී ලංකාව 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමේ අභිලාෂය සඳහා 5G තාක්ෂණය ප්‍රධාන පදනම වේ. අධික වේගය, අතිශය අඩු ප්‍රමාද කාලය (Ultra-low latency) සහ ඉහළ විශ්වසනීයත්වය සහිත මෙම තාක්ෂණය, කර්මාන්ත, සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහන හා සැපයුම් ජාල, ස්මාර්ට් නගර සහ පොදු සේවාවන්හි විප්ලවීය වෙනසක් සිදු කරනු ඇත.
මීට අමතරව, කෘතිම බුද්ධිය (AI), ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් (IoT), ස්වයංක්‍රීයකරණය (Automation) සහ ක්ලවුඩ් පරිගණක තාක්ෂණය වැනි උසස් තාක්ෂණික මෙවලම් සඳහා 5G තාක්ෂණය අඩිතාලම දමයි. 5G තරංග මාලා බලපත්‍ර බෙදාදීමේදී ප්‍රධාන සංඛ්‍යාත පරාස දෙකක් යටතේ විදුලි සංදේශ සමාගම් දෙක වෙත බලපත්‍ර පිරිනමන ලදී.
ඒ අනුව, 3500 MHz කලාපය යටතේ ඇති 3400–3500 MHz පරාසයේ 100 MHz ප්‍රමාණයක් ඩයලොග් ආසිආටා (Dialog Axiata PLC) සමාගම වෙත පිරිනැමුණු අතර, 3500–3600 MHz පරාසයේ 100 MHz ප්‍රමාණයක් ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් (Sri Lanka Telecom Mobitel) සමාගම වෙත වෙන් කෙරිණි. මීට අමතරව, ඉහළ ධාරිතාවකින් යුත් 5G සේවා ව්‍යාප්තිය සඳහා සහය දක්වමින් 27 GHz කලාපය යටතේ ඇති 27,200–27,400 MHz පරාසයේ 200 MHz තරංග ප්‍රමාණයක් ද ඩයලොග් ආසිආටා සමාගම වෙත නිල වශයෙන් ප්රදානය කරන ලදී.
මෙමගින් තත්‍ය කාලීන සන්නිවේදනය, මහා පරිමාණ උපාංග සම්බන්ධතාවය සහ ඉහළ ධාරිතාවකින් යුත් දත්ත සම්ප්‍රේෂණයට මග පෑදේ. මෙය ජාතික තරඟකාරිත්වය ශක්තිමත් කිරීමටත්, විදේශීය ඩිජිටල් ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත්, ඩිජිටල් අන්තර්ගතභාවය (Digital Inclusion) ප්‍රවර්ධනය කිරීමටත් ඉවහල් වනු ඇත.
මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත්, එම කොමිෂන් සභාවේ සභාපති වරුණ ශ්‍රී ධනපාල සහ වෙන්දේසි කමිටුවේ සභාපති ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරුන් සහභාගී වූහ.
මීට අමතරව ඩයලොග් ආසිආටා සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා සහ මොබිටෙල් සමාගමේ සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා ඇතුළු ක්ෂේත්රයේ ප්‍රමුඛයෝ රැසක් මේ සඳහා එක්ව සිටියහ.


Video Story